මුළුමහත් ලෝකයම මේ වන විට ගෙවා දමමින් සිටින්නේ වසංගත සමයකි. මේ වසංගත සමය මෙයට වසර දෙකකට පමණ ඉහතදී ප්‍රකාශයට පත් කෙරුණේ කොරෝනා වයිරසය ව්‍යාප්තව යෑමත් සමඟය. කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වී යත්ම ලෝකයේම අවධානය ඒ දෙසට යොමු විණ. කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වන රාජ්‍යයන්, ආසාදිතයන් සංඛ්‍යාව, කොරෝනා මරණ සංඛ්‍යාව, කොරෝනා වයිරසයේ ප්‍රභේද ආදිය ගැන විශාල උනන්දුවකින් පසු වූ බොහෝ දෙනකු දැන් ඒ තොරතුරු විමසන්නේ ඉඳහිටය. කොරෝනා වයිරසය මේ වන විටත් ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ ද යන්න ගැන තවත් වැඩි පිරිසකට දැන් එතරම් කල්පනාවක් නැත. සැබවින්ම ලෝකයාට කතා කරන්නට කොරෝනාවලට වඩා වෙනත් වැදගත් මාතෘකා දැන් තිබේ. කොරෝනා ඔවුන්ට අමතකව ගොස් ඇත. එහි අරුත වසංගත සමය දැන් නිමා වී ඇති බව ද? ඒ ගැන ලෝක සෞඛ්‍ය බලධාරීන්ටත් විසඳා ගත නොහැකි ලොකු අවුලක් තිබේ.
මහජන සෞඛ්‍ය
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයන් ගෝලීය කොරෝනා අර්බුදය නිමාවට පත් කරන්නේ කෙසේද? කවදාද? යන උභතෝකෝටික ගැටලුවට මැදිව සිටින බව ලෝක මාධ්‍ය සේවාවන් පසුගිය දා වාර්තා කළේය. ඒ අනුව කොරෝනා වසංගතය ව්‍යාප්තව යෑම ආරම්භ වී වසර දෙකකට පමණ පසුව ලෝක සෞඛ්‍ය බලධාරීහු තවත් තීරණාත්මක සන්ධිස්ථානයකට ළඟා වී සිටිති. කෙසේ වුවත් කොරෝනා වසංගතය නිමා වූ බව ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය බලධාරීහු තවමත් ඉක්මන් නොවෙති. එයට හේතු වී ඇත්තේ ලොව ඇතැම් රටවලින් මේ වන විටත් කොරෝනා ආසාදිතයන් දහස් ගණනින් වාර්තා වීම සහ ඇතැම් තැනෙක සිදු වන කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමක තිබීමය. කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ තත්ත්වය සතුටුදායක අතට පෙරළී තිබුණ ද දැන් එහි තත්ත්වය කනගාටුදායක අඩියක ඇත. චීනයේ ෂැංහයිහි මෙන්ම බීජිංහි ජන ජීවිතයත් කොරෝනා නිසා බොහෝ සීමා කිරීම්වලට යටත් කර ඇත. හොංකොං ජනයා මේ වන විට හිස ඔසවාගෙන සිටින්නේ මාස හතරකට වඩා වැඩි කාලයක් කොරෝනා නිසා බොහෝ දුක් පීඩා විඳීමෙන් පසුවය. එවැනි තත්ත්වයක් පවතින විට වසංගතය නිමා වී ඇතැයි කියා කිව හැකි වන්නේ කෙසේද?
2020 ජනවාරි 30 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව අවසන් වී ඇති බවට අවසානයේ සංඥා කරන්නේ කුමන කොන්දේසි මත ද යන ගැටලුව ජිනීවා පදනම් වූ නියෝජිතායතනයේ හෙවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන්ගේ දැඩි අවධානයට යොමුව තිබේ. ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබෙන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව අවසන් කර ඇති බව ප්‍රකාශ කිරීමට අවශ්‍ය නිර්ණායක සම්බන්ධයෙන් කොවිඩ් – 19 පිළිබඳ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි හදිසි කමිටුව විමසිලිමත්ව සිටින බව එම කමිටුව නිකුත් කළ නිවේදනයක ද සඳහන් වේ. එසේ වුවත් මේ වනතුරුත් එම කමිටුව මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව අවසන් කර ඇති බව ප්‍රකාශ කිරීම සිදු කර නොමැත.
මුව ආවරණ පැලඳීම
ලොව බොහෝ රාජ්‍යයන් සාමාන්‍ය සමාජ හැසිරීම්වලට පිවිසී තිබේ. එනම්, ආරක්ෂක මුව ආවරණ පැලඳීමෙන් ඉවත්වීම, නිරෝධායන සෞඛ්‍ය මාර්ගෝපදේශනයන් ලිහිල් කිරීම, රටවල දේශසීමා විවෘත කර ජනතාවට සංචාරය කිරීමට පහසුකම් සලසා දීම වැනි තත්ත්ව මේ වන විට දක්නට පුළුවන.
සාප්පු, ආපනශාලා ආදිය අභ්‍යන්තරයේදී ආරක්ෂක මුව ආවරණ පැලඳීම අනිවාර්ය නොවන බව එක්සත් රාජධානි සෞඛ්‍ය බලධාරීන් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. එහෙත් ස්කොට්ලන්තය අනුගමනය කරන්නේ එයට ඉඳුරාම වෙනස් නීතිමය තත්ත්වයකි. ආරක්ෂක මුව ආවරණ පැලඳීම එහි අනිවාර්ය කර නැති නමුත් ස්කොට්ලන්ත සෞඛ්‍ය බලධාරීන් දැඩිව නිර්දේශ කරන්නේ පොදු ස්ථාන සහ පොදු ප්‍රවාහන සේවාවන් අභ්‍යන්තරයේදී ආරක්ෂක මුව ආවරණ පැලඳ සිටිය යුතු බවය. කොවිඩ් රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් හුදෙකලා කර තැබීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශනයන් ස්කොට් සෞඛ්‍ය බලධාරීහු තවමත් අනුගමනය කරති. කොරෝනා වයිරසය ඉතා තදින් ව්‍යාප්ත වී ගිය රාජ්‍ය අතර ඇමෙරිකාවට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. කොරෝනා ආසාදිතයන් 80,333,602කට අධික සංඛ්‍යාවක් එරටින් මේ වන විට වාර්තා වී ඇත. කොරෝනා මරණ 984,686ක් පමණ සිදුව ඇති බව ද සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වේ. දැනට දිනකට දහස් සංඛ්‍යාත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් ඇමෙරිකාවෙන් වාර්තා වන බව සඳහන් වේ. එරටින් දිනකට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව කොරෝනා උච්චතම කාල පරිච්ඡේදයේදී සිදු වූ මරණ සංඛ්‍යාවට සාපේක්ෂව බෙහෙවින් පහළ බැස ඇත. එවන් පසුබිමක ජනයා බහුලව ගැවසෙන උද්‍යාන, සමාජ ශාලා, චිත්‍රපට ශාලා, කාය වර්ධන මධ්‍යස්ථාන ආදිය විවෘතව තැබීමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත. එසේ වුවත් ජනයා ගැවසෙන ස්ථානවලදී ආරක්ෂක මුව ආවරණ පැලඳීම තවමත් එහි නිර්දේශිත ය.
ආසියාතික රටවලින් සැලකිය යුතු තරමේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධාන සංඛ්‍යා ලේඛනවලින් තහවුරු කෙරේ. දකුණු කොරියාවෙන් සාමාන්‍යයෙන් නව ආසාදිතයන් 67,146ක් පමණ ද, ජපානයෙන් නව ආසාදිතයන් 39,826ක් පමණ ද, තායිලන්තයෙන් නව ආසාදිතයන් 16,825ක් පමණ ද, වියට්නාමයෙන් නව ආසාදිතයන් 15,067ක් පමණ ද, තායිවානයෙන් නව ආසාදිතයන් 6,540ක් පමණ ද වාර්තා වන බව සඳහන් වේ. ඉන්දියාවෙන් පැය විසි හතරකට කොරෝනා ආසාදිතයන් තුන් දහසකට අධික සංඛ්‍යාවක් තවමත් වාර්තා වේ. අද මේ වන විට එහි සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව 40කට පමණ ආසන්නය. එසේ වුවත් එරට පාසල් පද්ධතිය ආශ්‍රිතව කොරෝනා වයිරසය පැතිර යෑමේ අවදානම් තත්ත්වයක් මතුව ඇත. මේ නිසා පාසල්වලට බලපාන සෞඛ්‍ය මාර්ගෝපදේශනය අලුත් කරන්නට එරට සෞඛ්‍ය බලධාරීන්ට පසුගිය දා සිදු විණ.
අප්‍රිකා මහාද්වීපය සම්බන්ධයෙන් පවතින්නේ ද මෙයටම සමාන පසුබිමකි. දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විටත් ඉහළ මට්ටමක පවතී. දකුණු අප්‍රිකාවේ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය නිකුත් කළ සංඛ්‍යා ලේඛනවල සඳහන් වන්නේ පසුගිය 27 වැනිදා දින එරටින් කොරෝනා ආසාදිතයන් 5,062ක් පමණ වාර්තා වූ බවයි. එදින එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 15කට අධිකය. පසුගිය සතියේදී අප්‍රිකා මහාද්වීපයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සහ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවැතියේ, දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සහ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවැති නිසායැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුනි.
කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ආසියාවේ මෙන්ම අප්‍රිකාවේ පවත්නා මේ තත්ත්වය සැලකිල්ලට ගත් විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයන්ට ගෝලීය කොරෝනා අර්බුදය නිමා වී ඇතැයි ප්‍රකාශ කළ හැකිද යන ගැටලුව පැන නැඟේ.
අනෙක් අතට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පහළ වැටුණ ද වාර්ෂික මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව විශේෂඥයන් පෙන්වා දී ඇත. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑම මැලේරියාව සහ ක්ෂය රෝගය වැනි අනෙකුත් රෝගවලින් ආසාදිත තත්ත්වයට පත් සංඛ්‍යාව ඉහළ යෑම සමඟ කෙසේවත් සංසන්දනය කළ නොහැකි බව විශේෂඥයන්ගේ අදහසයි. තව ද භයානක කොරෝනා ප්‍රභේද ඇතිවීමට ඇති හැකියාව ද අනපේක්ෂිත බව ඔවුහු පවසති.
පවත්නා තත්ත්වය මත කොරෝනා එන්නත් නිෂ්පාදනය සහ සැපයීම පවත්වාගෙන යෑම සිදු කළ යුතුව ඇත. කොරෝනා වසංගතය අවසන් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන තුරු කොරෝනා එන්නත් පවත්වාගෙන යෑමේ වැදගත්කම එන්නත් නිෂ්පාදන සමාගම්වලට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබීම ද විශේෂත්වයකි. මෙම සාකච්ඡාවේදී ඇස්ට්‍රාසෙනිකා එන්නත නිෂ්පාදනය කරන සමාගම, වසංගතය අවසන් වනතුරු එම එන්නතෙහි මිල අවම මට්ටමේ තබා ගැනීමට එකඟ වී ඇතැයි ද වාර්තා වේ.
වසංගත රෝග
සෞඛ්‍යමය වශයෙන් ගෝලීය මට්ටමේ හදිසි තත්ත්ව සහ රෝග පැතිරීම අවසන් බව ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අතීතයේදී ද බෙහෙවින්ම ප්‍රවේශම් විය. එවැනි අවස්ථා ප්‍රකාශයට පත් කිරීමේදී ප්‍රවීණයන්ගේ අදහස් විමසා බලා ඒ අනුව කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් අධානම් ගේබ්‍රියේසස් පවසයි.
මේ අතර බොහෝ රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම මත පමණක් කටයුතු නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ රෝග පාලනය සහ වැළැක්වීමේ එක්සත් ජනපද මධ්‍යස්ථානවල හිටපු වසංගත රෝග විද්‍යාඥයකු වන ඩේවිඩ් හේමන් පවසයි.
“… එසේ වුවත් ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානය නොසලකා හරින්නේ ද නැත. නමුත් ඔවුන් වැඩිපුර ක්‍රියා කරන්නේ ජාතික සහ කලාපීය විද්‍යාත්මක උපදේශක කණ්ඩායම් මතයි. …” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.
අද වන විට කොරෝනා වයිරසය පැතිර යන ආකාරයත්, සිදු වන කොරෝනා මරණ සංඛ්‍යාවත්, ආසාදිත තත්ත්වයට පත් වන පුද්ගලයන් සංඛ්‍යාවත් සැලකිල්ලට ගත් විට කොරෝනා වසංගතය අවසන් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන දිනය තවත් බොහෝ දුර බව පෙනී යයි. එහි අරුත ලෝකවාසීන් තවදුරටත් කොරෝනා වයිරසයෙන් ආරක්ෂා විය යුතු බව නොවේද?
මංජුලා විජයරත්න
උපුටාගැනීම – දිනමිණ පුවත්පත