කලින් කලට වෙනස්වුණ අපේ කුලේ කතාව

කුලය යනුවෙන් අප හඳුන්වනු ලබන මෙම සාධකය බොහෝ තැන්හි දී විවිධ අයුරින් කියවේ. එහිදී ඒවාහි දැක්වෙන්නේ කුලය යන්න දකුණු ආසියාතික රටවලට පමණක් සීමාව පවතින්නත් බවයි. බොහෝ විට ඉන්දියාවේ කුලය සම්බන්ධයෙන් අවධානය යොමු කලහොත් වර්තමානයේ පවා ඒ මතම තම ජීවන රේඛාවන් හැඩගස්වා ගැනීමට ඔවුන් ක්‍රියා කරමින් සිටින අයුරු දැකගත හැක. කෙසේ වෙතත් මෙය මුළුමහත් ලෝකය පුරාම විවිධ සංස්කෘතීන්ට අයත් පොදු ලක්ෂණයක් වන අතර එම රටවලට අනුගත වූ විවිධ සංස්කෘතීන්ට අනුකුලව ගොඩනැගුණු අන්තර් සංස්කෘතික ලක්ෂණයෙකි. කුලය පිළිබඳ මුල්ම හැඳින්වීම ඇතිවූවා යැයි සැලකෙන්නේ 1555 වර්ෂයේ දී පමණය. ඉංග්‍රීසි භාෂාවෙන් එය හැඳින්වීමට යොදා ගන්නා cast යන්න ලන්දේසි හෝ පෘතුගීසි භාෂාවලින් බිඳී පැමිණි වචනයක් බව ද විශ්වාසයේ පවතී.

කොටස් තුනකට බෙදෙන කුල ක්‍රමය…

කුල ක්‍රමය පැහැදිලිවම කොටස් තුනකට බෙදා දැක්විය හැකි යැයි ප්‍රංශ ජාතිකයෙකු වන celestin charles alfred Bougle (සෙලස්තින් බොග්ලෙ) විසින් රචිත “Essays on the caste system” කෘතියේ දැක්වේ. ඒ මෙම ආකාරයටය.

  • නම් කරන ලද කුලයන් ඔවුනට උරුම වූ ශිල්ප ක්‍රම මත පිහිටා තම වෘත්තීය තුළ දැකගත හැකිය. එනම් ඔවුන් තම ජීවනෝපාය මාර්ගයක් සකසා ගන්නේ අතීතයේ සිට ඔවුන්ගේ පරම්පරාව හරහා ආ ශිල්පය මත වීම.
    ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද මෙවන් වූ ශිල්ප ක්‍රමයන් මතින් කුලය බිහිවූ බව දැකගත හැකිය. මේ නිසා හඳුනාගත හැකි විශේෂ කරුණක් වන්නේ නිතැතින්ම ඔවුන්ගේ වෘත්තිය නිසා තම කුල ක්‍රමයේ ආරක්ෂාව තහවුරු වීමය. එසේත් නැත්නම් පැවැත්ම නිසි ආකාරයෙන් තහවුරු වීමය.
  • එක් කුලයකට අයත් පිරිස් වෙනත් වූ කුලයක අය සමග විවාහ කටයුතු සඳහා සම්බන්ධ නොවීමත් එමෙන්ම වෙනත් වූ සාමාජීය කටයුතු වලදී එකාවන්ව කටයුතු නොකිරීමත් දක්නට හැක. (මේ සඳහා අපට ශ්‍රී ලංකාව හොදම උදාහරණයකට ගත හැකිය. වර්තමානයේ දී නැතත් අතීතයේ දී මෙවන් දෑ බොහෝ විට සිදු විය)
  • පවතින කුල ක්‍රමයන් අනුව නොයෙකුත් ආකාරයේ පෙළගැස්වීමකට නතුවේ. එනම් පවතින කුල අතර උසස්ම කුලය, පහත්ම කුලය සහ හීනම කුලය ආදී වශයෙන් වෙන්කොට දැක්වීමයි.
    කුල ක්‍රමය බොහෝ තැන්හිදී හඳුන්වා දී ඇත්තේ දකුණු ආසියාතික සමාජ ක්‍රමයන් ට ආවේණික වූ විශේෂත්වයක් ලෙසිනිිි. මෙකී කුලයන්ට අයත් පුද්ගල චරිතයන්ට අයත් වාසගම් ඇසූ පමණින් ම ඔහුගේ හෝ ඇයගේ ප්‍රදේශය හෝ අසවල් අඩුකුලේ යැයි නමින් හඳුන්වන්නට තරම් මිනිසා දැනුම්වත් කමින් යුක්ත විය. ශ්‍රී ලංකාවේ පැවැති කුල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ඒවා විවිධ පලාත් අනුව දිස්ත්‍රික්ක අනුව බෙදී ගොස් ඇතිබවක් පෙනෙන්නට තිබේ. ලංකාවේ කුල ක්‍රමය උතුරු ඉන්දියාවේ “වර්ණ” නමින් හැඳින්වෙන ක්‍රමයට වෙනස් වන නමුත් දකුණු ඉන්දියාවේ “ජාති” නමින් හඳුන්වනු ලබන ක්‍රමයට යම් සමානත්වයක් දක්වයි. එයට විශේෂ හේතුවක් ලෙසින් දැක්විය හැක්කේ විටින් විට දකුණු ඉන්දීය ආක්‍රමණ වලට ලංකාව නතුවීම නිසාය.

ඉන්දියාවට වඩා වෙනස්..

නමුත් ලංකාවේ කුල ක්‍රමය ඉන්දියාවේ කුල ක්‍රමයට වඩා වෙනස් වූ බවක් පෙනෙන්නට තිබෙන පැහැදිලි ලක්ෂණයක් තිබේ. එනම් ඉන්දියාවේ වැදගත්ම කුලය ලෙසින් සැලකෙන්නේ බ්‍රාහ්මණ කුලයයි. ඔවුන් ඉන්දියාව තුළ ඉහළ බලතල ලබා ගත්තද ඔවුන්ගේ ප්‍රතිශතය ඉතා සීමිතය. නමුත් ලංකාවේ (බහුතර අදහසට අනුව ) වැදගත්ම කුලය ලෙසින් සැලකෙන ගොවිගම කුලයේහි වැඩි ඉඩකඩම් ප්‍රමාණයක් ඔවුන් සතු වූවා මෙන්ම සමාජ බලතලද තිබිණි. එහි ප්‍රතිශතය ඉන්දියාවේ බ්‍රාහ්මණ කුලය මෙන් අඩු අගයක් දක්නට නොවීය. ලංකාවේ ඉහළම ප්‍රතිශතයක් පැවතියේ ගොවිගම කුලය වෙතයි.
ලංකාවේ කුල ක්‍රමය අතීතයේ සිට පැවත එන්නක් ලෙසින් දැක්විය හැකිය. එදා සිට වර්තමාන සමාජ ජීවිතය දක්වාම නොයෙකුත් භාවිතයන්හි දී මෙකී නොයෙක් වූ පාර්ශ්වයනට යම් යම් අඩු සැළකිලි සංග්‍රහ ලැබීම ද නොරහසකි. වර්තමානයේ දී ඔවුනගේ රැකියාව සම්බන්ධයෙන් එය බලනොපෑමුත් අතීතයේදී එය රැකියාව සම්බන්ධයෙන් ද සෘජුවම බලපා ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. වර්තමානයේ දී වුව දියුණු යැයි කියනා සමාජ ක්‍රමයක් තුළ ආවාහ විවාහ කටයුතුවලදී ද යමි අතලොස්සක පිරිසක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම සිදු කරනා බව පැහැදිලිව පෙනේ. .

ලංකාවේ තිබුණෙ මෙහෙමයි..

ශ්‍රී ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවට පැමිණීමට පෙර කාලයේ රජ, බමුණු, වෙළෙඳ, ගොවි වශයෙන් කුල වර්ග හතරක් තිබූ බවත් මේවා වැඩවසම් යුගය මුළුල්ලේම පැවැති බවට පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය, යෝගාරත්නකාරය වැනි පුරාණ ග්‍රන්ථවල ද දක්වා තිබේ.
මෙහිදී පෙනී යන කරුණ වන්නේ ලංකාව තුළ මූලික වශයෙන් කුල වර්ග පහළවක් පමණ පැවති බවයි. ප්‍රධාන වශයෙන් ඒ ආකාරයෙන් පැවතිය ද මීට අමතරව නොයෙක් පළාත්වල ඒ ඒ පළාත් වලට ආවේණික කුල වර්ග ද පවතින බව දැකිය හැක. තවත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් මෙය පහත රට කුල සහ උඩරට කුල ලෙසින් කොටස් දෙකකට ද බෙදා දක්වනු ලැබ තිබේ. ඒ අතරින් උඩරට කුල දාහතක් ද පහත රට කුල දහ අටක් ද වෙන්කොට දක්වා තිබේ. අනෙක් කුලය ලෙසින් හඳුන්වා ඇත්තේ ද්‍රවිඩ කුලයයි.
උඩරට මෙන්ම පහත රට කුල අතර ද මූලික ස්ථානයක් ලබන කුලය වනුයේ ගොවිගම කුලයයි. ඊට අමතරව ඉන්පසු දැක්වෙන්නේ කරාව කුලයයි . ශ්‍රී ලංකාවේ උඩරට කුල ක්‍රමය අන් කිසිදු ක්‍රමයකට වඩා වෙනස්ව ඉතා දැඩිව පවත්වාගෙන යනු ලැබූ කුල ක්‍රමයක් ලෙසින් දැක්විය හැක. වර්තමානයේ පවා එහි යම් යම් ශේෂ කොටස් සමාජය තුළින්ම දැකගත හැකිවීම එයට හොඳම උදාහරණයකි. සමාජ සබඳතා මෙන්ම විවාහ කටයුතු වලදී ඔවුනගේ දැඩි බව හොඳින්ම පෙනෙන්නට තිබෙන කරුණකි. උඩරට ප්‍රධාන කුලය වූ ගොවිගම කුලයේ බොහෝ දෙනා කටයුතු කළේ කෘෂිකර්මාන්තය තුළය. ඔවුන් එවක රජ පෙළපත් සමග සමීප ආශ්‍රයක් තිබූ හෙයින් ගොවිගම කුලය අභිමානවත් කුලයක් ලෙසින් හැඳින්වුණු අතර පසුකාලීනව ඔවුන් හැඳින්වූයේ රදළ නමිනි.

ජාතීන් අතර වෙනස් වූ කුල

මේ ආකාරයෙන් බෙදී ගිය ශ්‍රි ලංකාවේ කුල ක්‍රමය තුළ ජාතීන් වශයෙන් ද වෙනස්ම වූ කුල ක්‍රමයක් ද්‍රවිඩ ජනතාව තුළ ද බිඳී ගොස් ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. ඒ තුළ ද්‍රවිඩ ජනතාව බෙදා දක්වා ඇත්තේ මේ ආකාරයෙනිිි .

වෙල්ලාල
කරයියර්
පරයියර්
තලවර්
පල්ලර්
තුරුම්බර්
මේ ආකාරයට බිඳුනු කුල තුළද සිංහල ජනයා බෙදී ඇති කුල ක්‍රමය අනුගමනය කර හෝ ඊට අඩු වැඩි වශයෙන් සමානකම් දක්වන බව පෙනේ. ඒ අනුව වෙල්ලාල කුලය ගොවිගම කුලය මෙන් ඔවුන්ගේ ඉහළින්ම සිටින කුලය ලෙස ඔවුන් නම් කර ඇති අතර වෙරළබඩ ප්‍රදේශයන්හි හැරුණු කළ අනෙකුත් ප්‍රදේශවල මෙය වඩාත් සැලකුම් ලබන කුලය ලෙසින් දැක්වේ. මෙහි තුරුම්බර් යන්න ඔවුන්ගේ හීනම කුලයය. පරයියර් කුලය බෙරව කුලය ලෙසින්ද තලවර් දුරාව ලෙසින්ද කරයියර් කරාව සහ පල්ලර් බත්ගම කුලය වශයෙන් ද සමාන කම් වලින් යුක්තය.

ප්‍රධානතම කුල 15..

මුලින් සඳහන් කළ ආකාරයට අප රට තුළ ප්‍රධානතම කුල 15 පවතින්නේ මේ ආකාරයටය.
මේ අතරින් ඉහලින්ම තිබෙන කුලයක් ලෙසින් අතීතයේ සිටම හඳුනාගෙන ඇත්තේ ගොවිගම කුලයයි. ලාංකේය ජන සමාජයේ ප්‍රමාණාත්මක වශයෙන් වැඩි ප්‍රතිශතයක් අයත්වන්නේද මේ සඳහාය. ඉඩම් හිමි ප්‍රභූ වරුන් ගොවිතැන් කරනා පිරිස් කෘෂිකර්මාන්තයේ බහුලව යෙදෙන පිරිස් සහ ගව පාලනය ආදිය තම ජීවිකාව කරගත් කොටස් මෙම කුලයට අයත් වේ. අතීතයේ සිට මේ දක්වාම ගතහොත් වැඩි ප්‍රතිශතයක් පෙන්නුම් කරන්නේද ගොවිගම කුලයයි . එමෙන්ම මුහුද ආශ්‍රිතව සිටින ධීවර කටයුතුවලට උර දෙන්නන් අනුගත වී ඇත්තේ කරාව කුලයටයි. දකුණු ප්‍රදේශයේ සාගර කලාප ආශ්‍රිතව ගොඩනැගුණායැයි හැඳින්වෙන මෙම කරාව කුලය. බලය අතින් මෙන්ම ආර්ථිකමය අතින් ද පසුකාලීනව ශක්තිමත් වූ කොට්ඨාසයක් ලෙස පෙනී සිටින්නට විය. එයට වඩාත් හේතුවූ කාරණා වූයේ වෙළඳාම් කටයුතු ආශ්‍රිතව ඔවුන්ගේ ආදායම් තර වීමයි.

 කුලය මත පදනම් වූ වෘත්තීන්..

එමෙන්ම ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ලාභ ගෙන දුන් ශාකයක් සේ සඳහන් කළ හැක්කේ කුරුඳු ශාකයයි. මේ නිසා බොහෝ පිරිස් එදවස පටන් කුරුඳු ආශ්‍රිත කටයුතුවල නිරත වුණේ තම ජීවිකාව රැක ගැනීමේ අරමුණෙනි. මෙය පාරම්පරිකව ම ඔවුන්ට උරුම වූ කර්මාන්තයකි. ඔවුන්ගේ වෘත්තීය වූයේ ද එයයි. මෙසේ කුරුඳු ආශ්‍රිතව තම ජීවිකාව කර ගත් පිරිස් හඳුන්වන්කට වූයේ සලාගම කුලයට අයත් වන කොටිඨාශයක් ලෙසිනි. බොහෝ විට මෙම කුලය මූලික වී ඇත්තේ දකුණු පළාත් ආශ්‍රිත ප්‍රදේශවලය. දුරාව කුලය හඳුන්වනු ලබන්නේ රා මදින්නන් වෙත පිරිනැමුණු කුලය ලෙසිනි. අතීතයේ පටන් කිතුල් රා මැදීමද කර්මාන්තයක් වශයෙන් සුළුතර ජන පිරිසක් මත ව්‍යාප්තව පැවති නිසා ඔවුන් වෙනුවෙන්ද වෙනමම වූ කුලයක් මේ ආකාරයෙන් වෙන්කොට දැක්විණි. එමෙන්ම අළු හුණු කර්මාන්තයහි යෙදෙන්නන් හුණු කුලයට අයත් වීමද සිදුවිය.
වර්තමානයේ දී මෙන් අතීතයේ දී තමන්ට සිතැඟි පරිදි තම කුලය වෙනස් කිරීම වෙනුවෙන් වාසගමක් ඉවත් කිරීමේ හැකියාවක් නොතිබිණි. එමනිසා ඔවුන් උපන්දා සිටම තම කුලය වෙනුවෙන් වෙන්වූ රැකියාව හා සමවදින්නට සිදුවිය. ඔවුන් හඳුන්වනු ලැබන්නේද ඔවුන්ගේ රැකියාව මූලික කර ගනිමිනි. මෙමගින් වූ විශේෂිත වූ සිදුවීම වන්නේ ඔවුන්ගේ වෘත්තිය නිසා කුලය දිගු කාලීනව පැවතීමත් කුලය මත පදනම් වූ වෘත්තීන් ඔවුන් වෙනුවෙන් වඩාත් විවෘත වීමත් ය .
මේ නිසා ලෝකුරු වැඩ කරන්නන් නවන්දන්න එසේ නැතිනම් ආචාරිය යනුවෙන් හැඳින්විය. මෙම ශිල්ප ක්‍රමය ඔවුන් මත පිහිටි නිසාත් දිගුකාලීනව ශිල්ප ක්‍රමය රැකීමට හේතු වූයේ ද එයයි. එදවස රෙදි ඇපිල්ලීමේ කටයුතුවල නිරත වූවන් රදා නමින් ද හඳුන්වන්නට යෙදුනි. වඩාත් විශේෂත්වය වූයේ මෙම කුල වෙනුවෙන් වෙන් කරන ලද වාසගම් ද පැවතීමයි. එම නිසා කිසිවකුටත් තම කුලය සැඟවීමට නොහැකි වූවා මෙන්ම කාලාන්තරයක් පුරා තිබූ අඩු කුලයේ යැයි කියනා පුද්ගල කොට්ඨාශවලට තම සමාජ තත්වය සඟවා තබා ගැනීමට ද නොහැකි විය. මේ නිසා අඩුකුලේ යැයි කියනා උදවිය කෙසේ වෙතත් සමාජ ක්‍රමය පැවති ආකාරය අනුව ඉහළ යැයි සම්මත කුල වල සිටි උදවිය ඔවුන ගේ වාසගම පහත් කුලවල කිසිවකු ලබාගැනීම සම්බන්ධයෙන් දැඩි විරෝධතාවකින් යුතු විය. ඔවුන් තම රැකියාව වශයෙන් කළ යුතු වූයේ ද තමන්ගේ කුලයටම අයත් රැකියාවයි. වහම්පුර (හකුරු) කුල ක්‍රමය වෙනුවෙන් එයට අයත් ජන කොට්ඨාසය ඔවුන්ගේ පාරම්පරික වෘත්තීය වූ හකුරු සෑදීමේ ම නිරතව සිටි අතර වළං සෑදීම මැටි ආශ්‍රිත කර්මාන්ත කරුවන් කුඹල්කරුවන් ලෙසින් හඳුන්වන්නට විය. කුල ක්‍රමය ගැන කතා කිරීමේදී දුර යනුවෙන් හඳුන්වන කුලය සම්බන්ධයෙන් කියවෙන්නේ මෙසේය. එනම් ශ්‍රී මහා බෝදිය රැකීමේ කටයුතුවල යෙදුණු කොට්ඨාශය වැල්ලදුර නමින්ද ඇත්ගොව්වන් පන්නදුර නමින්ද හැඳින් වුණු බවයි. ශ්‍රී මහා⁣ බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කළ පසු ඒ ආශ්‍රිත කාලවලදී ශිල්පක්‍රම තිස් දෙකක හැකියාවන් සහිත පිරිසක් ලංකාවට පැමිණි බව ඉතිහාස ග්‍රන්ථ වල සඳහන් වේ. යම් විටක මෙම ශිල්පීය ක්‍රම ඔවුන් ආශ්‍රයෙන් ඇති වූවා වන්නටද පිළිවන.
කෙසේ වෙතත් අතීතයේ මෙන්ම වර්තමානයේ නැකැත් ආදී කටයුතු සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් වැඩි අවධානයක් යොමු කරන බව පෙනෙන්නට තිබේ. එදවස මෙන්ම අදද නක්ෂත්‍ර කටයුතු කරන්නන් ගේ කුලය ලෙසින් නැකති කුලය හඳුන්වන අතර නැටුම් ආදී කටයුතු වල යෙදෙන ජන සමූහය අයත් වන්නේ බෙරව කුලයටයි. මේ ආදී වශයෙන් මළ බෙර වයන්නන් ගහල කුලයටත් හන හා පැදුරු වියමන් කර්මාන්තයේ යෙදෙන්නන් කින්නර කුළයට ද අයත් වේ.

කුල ක්‍රමය වර්තමානයේ ද ව්‍යාප්තව පැවතීම නිසා නිතරම පාහේ අඩුකුලේ යැයි කියනා කොට්ඨාශ වෙනුවෙන් සමාජ ක්‍රමය තුළ සාදාරනයක් ඉෂ්ඨ ව නොතිබිණි. මේ නිසා පදු වැනි කුලයන් නියෝජනය කරන්නන්ට තම රැකියාව ලෙසින් නියලෙන්නට වූයේ බර ඉසිලීම , කම්කරු සේවයේ යෙදීම වැනි කටයුතුවල ය. මෙකී කුලය අනුරාධපුර යුගයටත් එහා ඉතිහාසයක් ඇති කුලයක් ලෙසින් හඳුනාගෙන තිබේ. එමෙන්ම රොඩී හා හුලවාලි ජන පිරිස් සිඟමනේ යෙදීමට මෙන්ම කොහු ඉදල් නිර්මාණ කිරීමේ කටයුතුවල යෙදෙන්නට විය. කෙසේ වෙතත් වර්තමානය වන විට ඉහත කී කුලයට අනුව වෙන් කරන ලද රැකියාවන් සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි. මන්ද අධ්‍යාපන ක්‍රමය දියුණු වීමත් සමග ඔවුන්ට රිසි සේ රැකියාවන් කරා යොමු වීම නිසාය.

ලංකාවෙන් පිට ..

බොහෝ තැන්වලදී මෙම කුල ක්‍රමය ව්‍යාප්ත ව පවතින්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල පමණකැයි සඳහන් ව තිබුණ ද එය ඒ ආකාරයෙන්ම සිදු නොවන බව පෙනෙන්නට තිබෙන හොඳම උදාහරණය ජපානයයි. කාර්මික අතින් ඉහළම සංවර්ධනයත් ලබා සිටින ජපානය තුළ කුල ක්‍රමයේ ඉහළින්ම පෙනී සිටින්නේ සමුරායිවරු ය. ඉන්පසු ගොවීන්ද කර්මාන්තකරුවන් ද දක්නට ලැබෙන අතර පහත්ම කුලය ලෙසින් ජපානයේ සලකුණු ලැබුවේ වෙළඳාම උදෙසා සංචාරය කරන වෙළඳුන්ය. ඊට අමතරවද පහත් ම පෙළේ කුල කිහිපයක් ද දක්නට ලැබෙි. වහල් මෙහෙය , මස්මාංශ වෙළදාම, නළු නිළියන් ආදී කලාකාමී කටයුතු වලට අයත් වූවන්, ගණිකාවන් ඒ අතර දක්නට ලැබේ.
එමෙන්ම මුස්ලිම් රාජ්‍යයක් වශයෙන් සැලකෙන පකිස්තානයේ ද කුල ක්‍රමය ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක වේ ඒ කවර ආකාරයට ද යත් සරල ලෙසින් ම කිවහොත් අඩුකුලේ ස්ත්‍රියකට අයත් වන්නේ ඉහළ පෙළේ කුල වල සිටින පුරුෂයන්ගේ අතවරයන්ට මුහුණ දීමටය. එයින්ම එහි පවතින කුල ක්‍රමයහි බලපෑම කවරාකාර ද යන්න පැහැදිලිව හඳුනා ගත වනු හැක.

බ්‍රිතාන්‍යයේ වැඩ …

බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාව යටත් විජිතයක් ලෙසින් නතු කරගත් පසු ලංකාවේ පැවති ප්‍රවේණි ක්‍රමය පසෙකට දමා කුල භේදයක් නිර්මාණය වෙන අයුරින් කුල ක්‍රමය ගොඩනැඟුමට සමත්විය. මේ හා සමගම ඹවුන් තම අධ්‍යාපන ක්‍රමයත් තම ආගමත් පතුරුවා හැරීම නිසා ඉහළ අධ්‍යාපනයක් ලබා ගැනීමේ අරමුණින් බොහෝ පිරිස් තම ආගම වෙනස් කිරීමට මෙන්ම පාරම්පරික පෙළපත් නාමය වෙනස් කිරීමටද පෙළඹිණි. මන්ද ඔවුන්ගේ පාලන සමයේදී ඉහළ රැකියාවක් ලබා දෙනු ලැබූයේ සමාජයේ ඉහළ යයි සම්මත කුල සඳහා පමණි. මේ නිසා මුදල් හදල් යහමින් තිබූ පිරිස් පෙලපත් නාමය වෙනස් කරමින් තම දරුවන් ඉහළ අධ්‍යාපනයක් ලබාදීමට සූදානම් කරනු ලැබූවේ අනාගතයේදී වඩාත් යහපත් වූ රැකියාවක් ලබා ගැනීමේ අරමුණෙනි. මන්ද රාජ්‍ය ව්‍යුහය සකස් සකස් වී තිබුණේ ඉහළ යයි හඳුනාගත් කුලයන්හි අය සඳහා රැකියා අවස්ථා ලබා දීම මූලික කරගනිමිනි. ලංකාවේ පෙලපත් නමි වෙනස් කිරීමේ මූලික පියවරක් වශයෙන් හඳුනාගත හැක්කේ උසස් අධ්‍යාපනය තුළින් ශිෂ්‍යත්ව ලබා ඉහළට ගොස් එමෙන්ම විශ්වවිද්‍යාලය අධ්‍යාපනයටද යොමු වූ පිරිස් නිසාය.

වෙනස් වෙන තැන් ….

විශ්වවිද්‍යාලය යනු එකම තෝතැන්නකි . එහි කුල බේදයක් නොමැති නිසා ඔවුන් විසින් තම ප්‍රේමය වැනි කටයුතු වෙනුවෙන් නම් වෙනස් කරමින් තම විවාහ කටයුතු සඳහා පරිසරය සකස්කර ගන්නට වීම එක් ධාරාවකි. එමෙන්ම අනෙක් ප්‍රධාන ධාරාව වන්නේ පරිපාලන ව්‍යුහය ට අඩු කුලේ යැයි සම්මත පිරිස් පැමිණීමත් සමඟ ඔවුන් විසින් තමන්ගේ පෙළපත් නාම සහ නාමයන් වෙනස් කර ගැනීමයි. මන්ද එවක පැවති ව්‍යූහය අනුව ඔවුනට ඉදිරියට පැමීණීමට නම් පෙළපත වෙනස් කර ගත යුතුව තිබිණි. එමනිසා ඔවුන් ද මේ ක්‍රමයම අනුගමනය කරමින් නම, පෙලපත වෙනස් කිරීමේ ක්‍රමයට අඩි තාලම දැමූහ.

කායා ඩී. රොද්‍රිගෝ