“අපේ බබත් කොවිඩ් බබෙක්”
අම්මකෙනෙක් එහෙම කිව්වෙ බබාට කොවිඩ් හින්ද නෙවෙයි.මේ දරුවා කොවිඩ් කාළේ ලැබුණු දරුවෙක් කියල කියන්න.කොවිඩ් බබෙක් එහෙම කියල මේ අම්මා හැඳින්වූයේ වයස අවුරුදු දෙකක විතර දරුවකුට.
කොවිඩ් වසංගතය ලෝකය පුරාම පැතිරෙන අවධියේ මෙලොව එළිය දුටු දරුවන් විශාල සමාජ ගැටලු රැසකට මුහුණදෙමින් සිටින කාලයක් තමයි මේ ගෙවෙන්නෙ.නිවෙසේම හැදුණු වැඩුණු මේ දරුවන්ට අහිමිවූ අත්‍යාවශ්‍ය සමාජ ඇසුර දැන් ක්‍රමානුකූලව ලැබෙමින් පවතිනවා.නමුත් කොවිඩ් වසංගතය නිමාවක් නොවූ නිසාම මේ දරුවන් සමාජයට නිරාවණය කරන්න දෙමාපියන් දක්වන්නේ අකමැත්තක්.මේ නිසාම මේ දරුවන් තව තවත් හුදෙකලා වීම වලක්වන්නට නොහැකි කාරණාවක්.
කොවිඩ් සමයේ උපන් දරුවන් පමණක් නොවෙයි බොහෝ දරුවන්ට කොවිඩ් වසංගතය නිසා අහිමිවූ ළමා කාලය නැවතත් ලබා ගන්නට නොහැකි බව අප සැමදෙනා දන්නා කරුණක්.
නිරතුරුවම රංචුගැසෙන්නට පෙරමඟ බලා ඉන්න කුඩා දරුවන්ට ඒ අවස්ථාව අහිමිවීම දැඩි මානසික අර්බුද ඇති කරනු ලබන කාරණාවක්.වෙනදාට පාසල් හෝ පෙර පාසල් ගොස් රංචු ගැසී විනෝද වූ දරුවන් නිවෙසේ බිත්ති හතර මැද හුදෙකලාවීම ඔවුන්ගේ කුඩා මනසට ගෙන ආ අර්බුදය මෙතෙකැයි කියා නිම කළ නොහැකියි.
මෙසේ කොවිඩ් නිසා හිරගත කළ ළමා ජීවිතවලට එල්ලවූ බලපෑම් පිළිබඳ දරුවන් පනස්දහසකගේ තොරතුරු එක් කරමින් එංගලන්තයේ කළ පරීක්ෂණයකින් වාර්තා වෙන්නේ ළමා කථනය සහ භාෂා කුසලතාවන්ට මේ හුදෙකලාව බලවත් බලපෑමක් ඇතිකර තිබෙන බවයි.වසංගතය දැඩිව පැවැති සමයේ දරුවන්ගේ ශාරීරික සෞඛ්‍ය බලපෑමට වඩා සමාජයීය, අධ්‍යාපනික හා මානසික බලපෑම ඉතා තීව්‍ර බව මේ වනවිට අනාවරණය වෙලා තිබෙනවා.
මේ අනුව අපට එළඹිය හැකි නිගමනය වන්නේ කොවිඩ් වසංගතයේ හුදෙකලාව ළමා මනසට සැලකියයුතු බලපෑමක් එල්ල කළ බව පමණයි.
මෙසේ එල්ලවූ බලපෑම් නිසා දරුවන්ගෙන් පිටවන ගති ලක්ෂණ මෙහෙමයි කියල විග්‍රහ කරන්නට බැහැ.
විරෝධය පෑමෙන්, කේන්ති ගැනීමෙන්, නොරුස්නා බව පළ කිරීමෙන්, අධ්‍යයන කටයුතු සඳහා වන උනන්දුව හීන වීමෙන් ආදී විවිධ ලක්ෂණ මඟින් දරුවා ආතතිය නිරූපනය කරන්නට පුළුවන්.
මේ තත්ත්වය තේරුම් ගැනීම මේ මොහොතේ බුද්ධිමත් දෙමාපියන්ගේ වගකීමක්.
කොවිඩ් සමයේ නිවෙසට වී සිටි දරුවන්ට ඒ බව පවසමින් බැනවැදීම නොකළ යුතුම කාරණාවක්.
“පහුගිය කාලේ නිකම්මනේ හිටියේ” මේ නිතර දරුවන් සිටින නිවෙස්වලින් ඇසෙන කතාවක්.මේ කරුණ මුල් කර ගනිමින් දෙමාපියන්ගේ දරුවන්ට දරාගැනීම නොහැකි සේ වැඩ කන්දක් දීම නොකළ යුත්තක්.වසර කීපයක් මඟහැරුණු අධ්‍යාපන කටයුතු දින කිහිපයකින් ආවරණය කිරීමට යාමෙන් දරුවාගේ මනස තව තවත් හාණි වෙන්නට පුළුවන්.වගකිවයුතු දෙමාපියන් ලෙස මේ තත්ත්වය වටහා ගැනීම ඉතාමත් වැදගත්.
කොවිඩ් සමයේ අපෙන් ගිලිහුණු ආර්ථිකය යළි නංවා ගැනීමේ වෑයමක අපි සියලුදෙනා මේ මොහොතේ නියැලී ඉන්න එක ඇත්ත කතාවක්.නමුත් ඒ කටයුතුවලට මුල් තැන දීමේදී ඔබටත් ඔබේ දරුවා මඟහැරෙන්නට පුළුවන්.එය අප නොදැනුවත්වම වෙන දෙයක්.ඒ නිසාම මේ ජීවන අරගලට මැද ඔබේ දරුවන්ට ලබාදෙන තැන නොවෙනස්ව තබා ගැනීමට මතක තබා ගන්නම වෙනවා.
ඒ වගේම දරුවා යළි මුල සිට සමාජ ගත කරන්නට ඔබට විවිධ දේ සිදු කරන්නට වේවි.කොවිඩ් සමයේ උපන් දරුවන් සමාජයට යාමේදී අනෙකාට බයක් දක්වන්නේ ඒ සිරිත ඔවුනට ආගන්තුක නිසාමයි.තම පවුලේ උදවිය හැර වෙනත් පිටස්තර පුද්ගල ඇසුරක් නොමැති දරුවන් වෙනත් අයකු දැකීමෙන් භීතියට පත්වෙන්නට පුළුවන්.එහිදී මේ සමාජ ගත කිරීම ක්‍රමානුකූලව සහ ස්තානෝචිතව සිදු කිරීමට වගබලා ගැනීම වැදගත්.
කොවිඩ් හේතුවෙන් ලොව පුරා රටවල් 188ක පාසල් බිලියන 1.5ක් පමණ වසා දමා තිබුණත් දැන් බොහෝ රටවල පාසල් ආරම්භ කරමින් අධ්‍යාපන කටයුතු සාමාන්‍ය ආකාරයට සිදු කරමින් පවතිනවා.අපේ රටේත් සියලු පාසල් මේවනවිට දරුවන් වෙනුවෙන් විවෘතයි.නමුත් පාසල් යන දරුවන් වෙනදා මෙන් උද්‍යෝගිමත් නොවෙන්නට පුළුවන්.
කිසිදු ව්‍යායාමයක් නොලැබීම නිසා දරුවන් ස්ථුලභාවයට පත්ව සිටිනටත් පුළුවන්. ඇතැම් දරුවන්ගේ දෛනික ජීවන රටාවේ වෙන්සක් ඇති කරන්නට මේ ලොක්ඩවුන් කාලය සමත්වෙලා තිබෙනවා.උදාසීන බව,ප්‍රමාදවී අවදිවීම,එක් තැනක හුදෙකලා වී කාලය ගත කිරීම මෙවැනි ලක්ෂණ වීමට හැකියි.
මේ හේතුන් පටලවා ගනිමින් දරුවන් තව තවත් පීඩාවට පත් කිරීම නොකළ යුත්තක්.මානසික ආතතියෙන් ඔබේ දරුවා පෙළෙනවානම් තව තවත් දරුවාට ආදරණීයව ළංවීම කළ යුතුමයි.
ඒ වගේම හැකි සෑමවිටකම දරුවා ක්‍රීඩාවට යොමු කිරීම කළ යුතුමයි.
තවදුරටත් ඔබේ දරුවා මානසික ආථතියෙන් පෙළේ නම් ඒ සඳහා මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ඉතාමත් වැදගත්.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල), කරාපිටිය ශික්ෂණ රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහල (රාගම) යන රෝහල්වල ළමා මනෝවෛද්‍ය විශේෂඥයින් හමුවීමට සහ දරුවා ළමා මනෝවෛද්‍ය සායනයන් වෙත යොමු කිරීමට පහසුකම් සපයා තිබෙනවා. ඒවගේම රජයේ ඕනෑම රෝහලක මනෝවෛද්‍යවරයෙකු සේවය කරන අතර ඔවුන්ගේ උපකාරය ද දරුවාට ලබාදිය හැකයි.
දෙමාපියන්ට තමාගේ හෝ දරුවන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම්, අංක 1926 ඔස්සේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ උපකාරක සේවාව ඇමතීමෙන් උපදෙස් ලබාගන්නටත් පුළුවන්.
මේ සියල්ල අතරේ ඔබේ දරුවා නිසිලෙස රැකගැනීමේ වගකීම හිමිවෙන්නේ ඔබට.ඒ නිසා දරුවා ගැන නිතර පරීක්ෂාවෙන් සිටින්න.දරුවා වැඩිපුරම ආදරය බලාපොරොත්තුවන්නේ ඔබගෙනි.ඒ ආදරය ඔබේ දරුවා සතුටින් සහ මානසික නිදහසකින්ම තබාවි.
දරුවාට තරවටු කිරීම හෝ බැනවැදීම හරහා දරුවන් තවත් ඔබෙන් ගිලිහී ඔවුන්ගේ ලෝකයේ හුදෙකළා වේවි.
මෙ කරුණු හිතට ගන්න.ඔබේ දරුවාට මේ කාලයේ මුල් තැන දෙන්න.ඔබේ දරුවා සතුටින්ම තබන්න.
මූලාශ්‍ර – බී.බී.සී.
නවෝද රංගලාල්