
ඉන්ෆ්ලුවෙන්සා ‘ඒ’ ප්‍රභේදය වැළඳුණු රෝගීන් වාර්තා වීමේ ඉහළ යෑමක් මේ දිනයන්හි දක්නට ලැබෙන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසයි.මෙම උණ රෝගය ඉන්ෆ්ලුවෙන්සා අනු ප්‍රභේදය වන ‘එච් වන්‘ වන බවත් වයිරසය සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ මඟින් එය තහවුරු වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ ප්‍රකාශ කළේය.
ඉන්ෆ්ලුවෙන්සා වයිරසය කලින් කලට ගෝලීය වසංගතයක් ලෙස මතු විය හැකි බවත් වැසි සහිත කාලගුණයක් යටතේ මෙම වයිරසයේ වර්ධනයක් සිදු වන අතර උදෑසන පවතින අඩු උෂ්ණත්වය සහ රාත්‍රී කාලයේ පවතින සීතල උෂ්ණත්වය ද වයිරසය වර්ධනය වීමට සෘජු ලෙස බලපාන බවත් හෙතෙම තවදුරටත් පැවසීය.
සියලු පළාත් මුල් කරගෙන රෝහල් 19 ක් පාදක කර ගනිමින් බාහිර රෝගී අංශවලට පැමිණෙන රෝගීන්ගේ නාසයෙන් සහ උගුරෙන් ලබා ගත් සෙම පටල 30ක නියැදි රෝහල්වල ආසාදන පාලක ඒකකයේ හෙද නිලධාරීන් විසින් වසංගත රෝග විද්‍යා අංශය සහ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙහි පර්යේෂණාගාර වෙත සෑම මසකම යොමු කරන බව ද ඒ මහතා පැවසුවේය.
ඉන්ෆ්ලුවෙන්සා අනුප්‍රභේදයන් වන ඒ, බී, ඒ එච් වන් එන් වන්, එච් ත්‍රී එන් ටූ වාර්තා වන්නේදැයි පී.සී.ආර්. පරීක්ෂාවන්ට ලක් කරන බවත් මේ පරීක්ෂණයන් වසර 15ක පමණ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව සිදු කරන්නක් බවත් ඒ මහතා කීය.