තව ස්වල්ප මොහොතකින් ශ්‍රි ලංකා ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
අද තරගයට බොහෝ දුරට දිනේෂ් චන්දිමාල් එක්වනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය සඳහා ඉතා හොඳ මානසික මට්ටමකින් පසුවන බවත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි.
ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
දෙරට අතර මෙම එක්දින තරග තුන පැවැත්වෙන් අයි සී සි සුපර් ලීග් තරගාවලිය යටතේය.
2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය සමග පැවත්වෙන මෙම තරග තුනම අනිවාර්යයෙන් ජයගත යුතු වෙයි.
මෙම එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය.
ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් එම සංචිතයට දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ලක්ෂාන් කැඳවා තිබේ.
කෙසේ වෙතත්, භානුක රාජපක්ෂ සංචිතයෙන් ඉවත්වීම සඳහා ඉල්ලීමක් සිදුකර තිබූ බවත්, ඒ සඳහා ක්‍රිකට් ආයතනය අනුමැතිය ලබාදී ඇති බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
එක්දින තරග පිටියෙන් විවේකයක් ලබා ගැනීමේ අරමුණින් ඔහු එලෙස සංචිතයෙන් ඉවත්ව ඇති බව වාර්තා විය.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර මේ දක්වා එක්දින තරග 4ක් පවත්වා ඇති අතර ඉන් තරග 3ක් ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්වුණි.
ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවට එරෙහිව එක් එක්දින තරගයක් පමණක් ජය ගැනිමට සමත්ව තිබේ.
තරගයට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක,
“මට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට අනුව මම දකින්නේ නෑ ප්‍රේක්ෂක බලාපොරොත්තු බිඳ වැටිලා කියලා. බොහොම සුළු පිරිසක් තමයි කියන්නේ බලාපොරොත්තු බිඳ වැටිලා කියලා. ඒගොල්ලෝ දන්නවා අවුරුදු 2ක් තිස්සේ මේ ආපු ගමන්මග. අවුරුදු දෙකකට කළින් ක්‍රිකට් එක තිබුණේ කොහේද. එතන ඉඳලා ලෝක කුසලානය වෙනකන් ක්‍රීඩා කරපු ආකාරය හැමෝම දන්නවා. මම හිතන්නේ ඔවුන් අපිව දිගින් දිගටම දිරිමත් කරනවා. ඉතින් අපි අනිවාර්යයෙන්ම ඒගොල්ලොන්ට අපේ දේ හොඳින් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. “
“අපේ මානසික තත්ත්වය හොඳයි, ක්‍රීඩා කණ්ඩායමක් වුණාම ගැටලු එනවා. ඒක සාමාන්‍ය දෙයක් මම හිතන්නේ අපිට විතරක් නෙවෙයි අනිත් කණ්ඩායම්වලටත් අර්බුදකාරී තත්ත්වයන් මතුවෙනවා. ඉතින් ඒවායෙන් උඩට ඇවිල්ලා කොහොමද අපි ක්‍රීඩා කරන්නේ කියන එකයි බලාපොරොත්තු වන්නේ. අපි කණ්ඩායමක් විදියට හොඳ තැනක ඉන්නවා දක්ෂතා දක්වන්න. “
“මම හිතනවා කාසියේ වාසිය ඉතාමත් වැදගත් කියලා ඩේ ටයිම් එකේදී පන්දුවෙන් ගොඩක් දේවල් කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන් කාසියේ වාසිය ගොඩාක් වැදගත්. කොහෙත්ම මට පීඩනයක් නෑ, කණ්ඩායමක් කියන්නේ හැමෝටම දක්ෂතා දක්වන්න බෑ. අන්තිමට බලන්න ඕන කණ්ඩායම දිනනවාද කියන එකයි. ඊට පස්සේ තමයි පෞද්ගලික දක්ෂතා එන්නේ. මම උපරිම දක්ෂතා අතරේ හිටියේ නෑ. බලාපොරොත්තු වෙනවා මේ තරගාවලිය හොඳින් කරන්න.”
“දිනේෂ් චන්දිමාල් එක්දින සංචිතයේ හිටියා දිගටම අපිත් එක්ක, ඉතින් මම හිතනවා එයාට අවස්ථාවක් තියෙනවා අද තරගයේ ක්‍රීඩා කරන්න. “
අද දෙරටෙහි තරග සංචිත මෙසේය
ශ්‍රී ලංකාව: දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, භානුක රාජපක්ෂ, දිනේෂ් චන්දිමාල්, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, ධනංජය ලක්ෂාන්, ප්‍රමෝද් කුමාර රාජිත, කසුන් රාජිත, ළහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන් සහ අසිත ප්‍රනාන්දු.
ඇෆ්ගනිස්තානය: හෂ්මතුල්ලා ෂාහිඩි (නායක), රහමට් ෂා (උප නායක), රහ්මානුල්ලා ගුර්බාස් (කඩුලු රකින්නා), ඊබ්‍රහිම් සද්‍රාන්, රියාස් හසන්, නජිබුල්ලා සද්‍රාන්, ෂහිදුල්ලා කමල්, ඉක්‍රම් අලිඛිල්, මොහොමඩ් නබි, ගුල්බදින් නයිබ්, රෂීඩ් ඛාන්, මුජිබ් උ රහ්මාන්, සියා උ රහ්මාන්, රහ්මන් අක්බර්, නූර් අහමඩ්, ෆසාල් හක් ෆාරුකී, ෆරීඩ් අහමඩ්, යාමීන් අහමඩ්සායි, නජීට් මෂූඩ්, අසමතුල්ලා ඔමර්සායි, කායිස් අහමඩ්, ඉබ්‍රහිම් අබ්දුල්රාහිම්සායි, අබ්දූල් රහ්මාන්, සරෆුයුඩීන් අෂ්රාෆී සහ බාහීර් ෂා මහබූබ්.