ආහාර අර්බුදයට අලුත් විසඳුමක්

කොරෝනා පශ්චාත් යුගයෙන් පසු ලොව සෑම රටක්ම මුහුණ දුන් බරපතළ ඛේදවාචකය ආර්ථික අර්බුදයයි.ආර්ථික අර්බුදයේ අතුරුඵලය ආහාර අර්බුදයයි. මේ නිසා අද වන විට සෑම රටක්ම ආහාර සුරක්ෂිතාව සහ ආහාර හිඟය වැනි ප්‍රශ්න ගණනාවකට මුහුණ පා සිටී. එමෙන්ම මුහුදු පැළෑටි යනු බහුවිධ නිෂ්පාදන ගත හැකි අමු ද්‍රව්‍යයකි.

භූමිය සීමා වීමත් කෘෂි කර්මාන්තයෙන් ලබා ගත හැකි ආහාර ප්‍රමාණය දැන් දැන් සීමා සහිත වී ඇත. වසර 2050 වන විට ලෝක ජනගහනය බිලියන 10 ඉක්මවා යන බවට වූ අනාවරණයත් සමඟ මෙම ආහාර අර්බුදය තව තවත් නරක අතට හැරෙනු නිසැකය. ආහාර බෙදි යෑමේ විසමතාව සහ පිටරටවලින් ආහාර ආනයනය කිරීමේ හැකියාව සිමා වීම වැනි ගැටලු නිසා වර්තමානය වන විට මිනිස් පරිභෝජනයට ගත හැකි විකල්ප ආහාර සඳහා අවධානය යොමු වෙමින් පවති. ඒ අතර ප්‍රමුඛතම විසැඳුම ලෙස කරළියට පැමිණ ඇත්තේ මුහුදු පැළෑටිවලින් සකසා ගන්නා ආහාරයි.

මුහුදු පැළෑටි ආශ්‍රිත ආහාර අපිට යම් ආගන්තුක වුවද චීනය, ජාපානය, කොරියාව වැනි රටවල් අද තම ප්‍රධාන ආහාරයේ කොටසක් බවට පත් කර ගෙන ඇත. මුහුදු පැළෑටි ආශ්‍රිත ආහාරවල මිනිස් සිරුරට අවශ්‍ය කරන බොහෝ පෝෂ්‍ය පදාර්ථ විවිධ ප්‍රමාණවලින් අන්තර්ගතය. එමෙන්ම සෞඛ්‍යාරක්ෂිතව ආහාරයට එක් කර ගත හැකිය. නමුත් වැඩිහිටි පරම්පරාව මෙම ආහාර සංස්කෘතියට හුරු කරවිම යම් අභියෝගයක් බැවින් බාල පරම්පරාව මුහුදු පැළෑටි ආශ්‍රිත ආහාරවලට යොමු කරවීම ප්‍රශස්ථ විකල්ප විසැඳුමක් වනු ඇත.
ශ්‍රී ලංකාවේ ආහාර වට්ටෝරුවට මුහුදු පැළෑටි නුහුරු ආහාරයක් බැවින් මේ පිළිබඳව පාරිභෝගික ප්‍රජාව දැනුම්වත් කළ යුතුය. මිනිසාට ආහාරයට ගත හැකි මුහුදු පැළෑටි වර්ණය අනුව දුඹුරු ,කොළ සහ රතු පාට වශයෙන් තුන් වර්ගයකි. කොළ සහ රතු පැහැති පැළෑටිවල වැඩි වශයෙන් කාබෝහයිඩ්‍රේට් අන්තර්ගත ය.එමෙන්ම මස්වලින් ලැබෙන ප්‍රෝටින හා සමානවම ප්‍රෝටීන මුහුදු පැළෑටිවල අඩංගු වන අතර ඇමයිනෝ අම්ල , විටමින් ඊ, විටමින් ඩී, මැග්නීසියම්, සල්ෆර්, පොටෑසියම්, අයඩින්, කොපර් අන්තර්ගතය. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ පෝෂණ ඌනතා ගැටලු, ශීඝ්‍රයෙන් ප්‍රමාණාත්මකව වැඩි වන කොලෙස්ටරෝල් ,උදරයේ අන්ත්‍රවල පිළිකා, පියයුරු පිළිකා , දියවැඩියාව ,ගැස්ට්‍රයිටීස් ආදි රෝග රැසක් වළක්වන ජිව විද්‍යාත්මක ගුණ මෙම මුහුදු පැළෑටිවල පවතින බැව් සිදු කරන ලද පර්යේෂණවලින් තහවුරු වී තිබේ. මුහුදු පැළෑටිවල තිබෙන කෙඳිවලට අප ගන්නා ආහාරවල විෂ සහිත දෑ අවශෝෂණය කර ගැනීමට ඇති හැකියාව නිසා සෞඛ්‍යාරක්ෂිතය. එමෙන්ම එළවළු පමණක් ආහාරයට ගන්නා අයට ඇති වන පෝෂණ ඌනතා අවම කිරිමට හොඳම විසැඳුමකි.
මුහුදු පැළෑටිවලින් ආහාර නිෂ්පාදනයේ දි අගය එකතු කිරිම මඟින් රුචිය වඩවන විවිධ ආහාර වට්ටෝරු සකසා ගත හැකිය.
මුහුදු පැළෑටිවලින් මිනිසාට ලබා ගත හැකි ඵල ප්‍රයෝජන එපමණක් නොවේ. මුහුදු පැළෑටි අගය එකතු කිරීම මගින් විවිධ ආහාර වර්ග නිපදවිය හැකි බව අප මීට පෙර සඳහන් කළෙමු. එවැනි අත්හදා බැලීම් තුළින් අපට නවමු ක්ෂේත්‍ර විවර කර ගත හැකියි. එහිදි දේශීය පරිභෝජනයෙන් ඔබ්බට ගොස් අපනයනය සඳහා ද විවිධ නිෂ්පාදන කළ හැකිය. උදාහරණයක් මුහුදු පැළෑටි ආශ්‍රිත පාන වර්ග , බිස්කට් වර්ග, කේක් සහ ජෙලි වර්ග නිෂ්පාදනය කිරීමට ශ්‍රි ලංකාවේ වර්ධනය වන මුහුදු පැළෑටි යොදා ගත හැකි බවට පර්යේෂණවලින් අනාවරණය වි ඇත. එමෙන්ම දෙස් විදෙස් සංචාරකයින් සඳහා සංචාරක හෝටල්වල ආහාර වට්ටෝරුවලට එක් කර ගත හැකිය.
මුහුදු පැළෑටි යනු බහු විධ ප්‍රයෝජන සඳහා ගත හැකි දෙයකි. ආහාරවලට අමතරව කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මෙම මුහුදු පැළෑටි යොදා ගැනීමේ සම්භාවිතාවක් ද පවතී. එහිදි ශාක වර්ධක හොර්මෝන අඩංගු බැවින් පොහොර නිෂ්පාදනයට යොදා ගැනීමට පුළුවන. එමෙන්ම ලොව දියුණු රටවල සත්ත්ව කෑම නිෂ්පාදනයට ද මුහුදු පැළෑටි යොදා ගැනේ. එමෙන්ම මෙම පැළෑටිවල ට ජලයේ අඩංගු බැර ලෝහ උරා ගැනීමේ ඉහළ ශක්‍යතාවක් පවතී. මුහුදු පැළෑටිවල ඇති යම් යම් සංයෝගවලට බැර ලෝහ උරා ගැනීමේ විශේෂ හැකියාව නිසා ජලය පිරිසුදු කිරීමේ පෙරහන්වල අංගයක් ලෙස වැඩි දියුණු කර ගත හැකිය.
මුහුදු පැළෑටි ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලංකාවේ මුහුදු කලාපය සශ්‍රිකත්වයෙන් පරිපුර්ණය. නමුත් අපි තවමත් මෙම ක්ෂේත්‍රයෙන් නිසි ඵල නෙළා ගෙන නොමැත. මුහුදු පැළෑටි ආශ්‍රිත නිෂ්පාදන සඳහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බිහි කළ හැකි අතර ධීවර ප්‍රජාව ඒ සඳහා දිරි ගැන්විය හැකිය. රාජ්‍ය අනුග්‍රහයෙන් මේ පිළිබඳ පර්යේෂණ ක්ෂේත්‍රය පුළුල් කිරිමේ අවශ්‍යතාව අපි අවධාරණය කරමු. රටට ඩොලර් උත්පාදනය සඳහා ප්‍රශෂ්ථ අංශයකි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඔසවා තැබීම සඳහා විවර කර ගත හැකි මේ නව ප්‍රවේශයට අවතීරණ වීම ට කිසිදු බාධාවක් නොමැති බව අපි පෙන්වා දෙමු.

ආචාර්ය කේ.කේ.ඒ. සංජීව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජෛව පද්ධති තාක්ෂණ අධ්‍යයන අංශය, තාක්ෂණ පීඨය, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

සකුන්තලා ජයසිංහ

ආචාර්ය කේ.කේ.ඒ. සංජීව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජෛව පද්ධති තාක්ෂණ අධ්‍යයන අංශය, තාක්ෂණ පීඨය, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය