ආබාධිත දියණියගේ මරණයට සැකපිට මව අත්අඩංගුවට

පානදුර හිරණ පින් කෑල්ල ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි කථනාබාධිත දැරියක් අමානුෂික පහර දීමකින් පසුව මිය ගොස් තිබේ. දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ මව අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බණ්ඩාරගම ගල්තුඩේ ධම්මකිත්ති ප්‍රාථමික විද්‍යාලයේ විශේෂ ඒකකයේ අධ්‍යාපනය හැදෑරූ පැල්පොලගේ රෝෂිණී කවිෂ්කා පෙරේරා නමැති දැරියයි.

මරණය සම්බන්ධ සැකකාරිය වන දැරියගේ මවගේ අනියම් ස්වාමි පුරුෂයාගෙන් මෙම දැරිය දීර්ඝ කාලයක සිට පහර කෑමට ලක් වී තිබේ. නමුත් ඒ සම්බන්ධයෙන් සැකකාරිය කිසිදු පියවරක් නොගෙන ඇය ද දැරියට වරින්වර අමානුෂික ලෙස පහර දීමේ හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දැරියගේ පියා යුද හමුදා විශේෂ බළකායේ සෙබලකු වන අතර ඔහු මීට වසර කිහිපයකට ඉහත දී දැරිය සහ දැරියගේ මව අතහැර දමා ගොස් ඇත. පසුව දැරිය ජීවත් කරවීම සදහා සැකකාර කාන්තාවට සිඟමන් යැදීමට පවා සිදු වී ඇත.

පසුව ඇය බණ්ඩාරගම රඹුක්කන ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය සඳහා පැමිණ තිබේ. ඒ අතරතුර සැකකරු සමඟ පෙම් සබඳතාවයක් ඇති වී මීට සති තුනකට පමණ ඉහතදී සැකකරු විසින් ඔහුගේ මවගේ ගෙදරට දැරිය සහ සැකකාරිය කැඳවාගෙන පැමිණ තිබූ බව පොලිසිය කියයි. මෙහිදී දැරියට අමානුෂික ලෙස පහර දී ඇති අතර රෝගී තත්ත්වයට පත්ව තිබු දැරිය රෝහල්ගත කිරීමට පවා සැකකරු හා සැකකාරිය කිසිදු පියවරක් ගෙන නොතිබූ බව ද පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත.