ආදරේ තුළ ජීවත් වෙන්න තමයි මගෙ බලාපොරොත්තුව

සම්මානිත සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ගාඩි’ සිනමාපටය දැන් ඔබට රිදී තිරයෙන් දැක ගන්නට පුළුවන්. 1814 කන්ද උඩරට ඉංග්‍රීසීන්ට යටත් වීමට පෙර අවසාන කාල වකවානුව පසුබිම් කරගෙන තමයි ‘ගාඩි’ චිත්‍රපටය ගොඩනැගෙන්නේ. ‘ගාඩි’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවකට පණපොවමින් සිනමා රංගනයට වරම් ලබා ගන්නෙ ඩිනාරා පුංචිහේවා. ඇය විසින් රඟදක්වන්නෙ දිසාවේ කෙනෙක් කරකාර බඳින ටිකිරි නමැති ළපටි තරුණියගේ චරිතයයි. ප්‍රථම රංගනය ගැන කතා කරන්න අද අපි ඩිනාරා සමග එකතු වෙනවා…

ඩිනාරා කොහොමද ඉතින්?

මේ දවස්වල හොඳින් වැඩකටයුතු කරගෙන ඉන්නවා.

කාලයක් බලා සිටි ‘ගාඩි’ දැන් රිදී තිරයට ඇවිත්…
කොවිඩ් වසංගතයෙන් පස්සෙ ගාඩි එළිදැක්වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. 2019 ඉඳන් අවුරුදු තුනක් වගේ කාලයක් ලංකාවේ සිනමාහල් තුළින් දැකගැනීමට නොහැකි වුණේ පසුගිය කාලයේ පැවැති කොවිඩ් වසංගතය සහ ඊට පසු ඇති වුණු ආර්ථික අස්ථාවරත්වය නිසා. ඒත් දැන් ගාඩි රිදී තිරයට ඇවිත්. ඉතාමත් සුවිශේෂී දෙයක් මගේ ජීවිතේ. මම ඉතාමත් කැපවීමෙන් වැඩ කරපු නිර්මාණයක්. ඒක ලංකාවේ සිනමා රසිකත්වයට බලන්නට ලැබීම ගැන මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා.

මීට පෙර ජාත්‍යන්තර දැක්මක් තිබ්බා. ඒ අවස්ථාවන්හිදී ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ගාඩි චිත්‍රපටයට හොඳ පිළිගැනීමක් තිබ්බා. විදේශ රටවල් කිහිපයක සිනමා උලෙළවල්වල ගාඩි තිරගත වුණා. ඒ අය දුන් ප්‍රතිචාර එක්ක ලංකාවේ සිනමා රසිකයන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.

ඩිනාරා ආස කළේ රංගන ශිල්පිනියක් වෙන්නද?
ඇත්තටම ඔව්. පුංචි කාලේ ඉඳන් ආස කළේ රංගන ශිල්පිනියක් වෙන්න. ඒ නිසා පාසලේදි සහ විශ්වවිද්‍යාලයේදි මම හැදෑරුවේ නාට්‍යය හා රංග කලාව.

‘ගාඩි’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණු හැටි මතක් කළොත්…
ගාඩි චිත්‍රපටයට මම සම්බන්ධ වුණේ ඔඩිෂන් එකකින්. චිත්‍රපටයකට තිබ්බ තිර පරීක්ෂණයකට මම ගියා. මට තවම මතකයි මට ලැබුණු අංකය 365. එහිදී තමයි මම ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂතුමා මුලින්ම දැක්කෙ. මම හිතනවා ඒ තිර පරීක්ෂණය තුළින් යම් කිසි හැකියාවක් දැක්ක නිසා මේ අවස්ථාව ලැබෙන්න ඇති කියලා.

අභියෝගයක් වුණු චරිතයක්ද?
අනිවාර්යයෙන්ම අභියෝගයක් වුණා. මුලිකම දේ 1815 හිටිය කාන්තාවකගේ චරිතයක් තුළ ජීවත් වීම. ඒ එක්කම අපි රූගතකළේ ගස් උඩ, කඳු මුදුන්වල, කඳු පහළ වගේ විවිධ දුෂ්කර සහ කටුක තැන්වල. ඒ නිසා සමහර අවස්ථාවන් හිතට යම් බයක් ගෙනදුන් අවස්ථා වුණා. තවත් සමහරක් තැන් නම් හිතේ සැහැල්ලුවෙන් රඟපාන්න පුළුවන් වුණා.

කොහොමද සජිතගෙන් ලැබුණු සහයෝගය…
සජිත කියන්නෙ රංගනය මැනවින් අවබෝධ කරගත් කෙනෙක්. ඒ වගේම ඔහුට සිනමාව ගැන අත්දැකීම් තිබ්බා. ඒ නිසා නවක නිළියක් හැටියට මගේ රංගනය සාර්ථකයි කියලා කෙනෙක් කියනවා නම් එහි ගෞරවය සජිතටත් හිමිවෙන්න ඕනේ. ඒ එක්කම සජිත කියන්නෙ දැන් මගේ හොඳ යාළුවෙක්. හරිම සැහැල්ලුවෙන් විනෝදයෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් මම සතුටු වෙනවා මගේ පළමුවැනි චිත්‍රපටයේ සජිත වගේ කෙනෙක් එක්ක රඟපාන්න ලැබුණු එක ගැන.

ඩිනාරා කොහොමද ප්‍රසන්න විතානගේ නම් ප්‍රවීණ අධ්‍යක්ෂවරයා දකින්නෙ…
මම මේක හැම තැනකම වගේ කියනවා. ප්‍රසන්න විතානගේ සර් කියන්නෙ විශ්වවිද්‍යාලයක් වගේ. සර් යටතේ මම සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. ඔහු වැනි දැවැන්ත නිර්මාණ අධ්‍යක්ෂවරයෙක්ගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබීමම මම ලබපු භාග්‍යයක්. ප්‍රසන්න සර් කියන්නෙ ඉතාම සහයෝගයකින් නළු නිළියන්ව තේරුම් ගෙන අඩුපාඩු ඉතාමත් හොඳින් අවබෝධ කර දීලා සැහැල්ලුවෙන් වැඩ කරන අධ්‍යක්ෂකවරයෙක්.

ඔබේ ඉදිරි නිර්මාණ?
මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් අධ්‍යක්ෂණය කළ ‘සහෝ’ චිත්‍රපටය සහ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘ආසු’ සහ ‘Peacock Lement’ චිත්‍රපට එන්න තියෙනවා.

පුංචි තිරයට එන්න කැමැත්තක් නැද්ද?
ඇත්තටම සිනමාවට තමයි මම ගොඩක් කැමති. නමුත් හොඳ පිටපතක් ලැබුණොත් ඒ චරිතයට මට සාධාරණය ඉෂ්ට කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මම බාර ගන්නවා. ඒ හැර සිනමාවද පුංචි තිරයද කියලා බෙදීමක් නැහැ. පිටපත අනුවයි මම තීරණය ගන්නෙ.

රංගනය ඔබේ වෘත්තියද?
සිනමාව වෘත්තීමය ජීවිතේ කර ගන්න ලොකු ආසාවක් තිබ්බා. තවමත් ඒ ආසාව තියෙනවා. නමුත් රටේ පවතින තත්ත්වය නිසා මම දැනට ජාත්‍යන්තර පාසලක රංගනය උගන්වන ගුරුවරියක් විදියට සේවය කරනවා. ඊට අමතරව ඉන්දියාවේ වැඩමුළු කිහිපයකට මේ වෙද්දි සම්බන්ධ වෙලා කටයුතු කරනවා.

ඩිනාරා පාසල් කාලේ මතක් කරමුද..

පාසල් ගියේ කොළඹ කාන්තා විදුහලට. ඊට පස්සෙ උසස් අධ්‍යාපනයට එංගලන්තයේ ක්වින් මේරි විශ්වවිද්‍යාලයට ගියා. එහිදීත් මම ඉගෙන ගත්තෙ නාට්‍ය හා රංගනය.

අද වෙද්දි කලාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මොකද හිතන්නෙ…
ඒ ගැන අද සතුටු වෙනවා. මම කැමති සහ මට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් චරිත තමයි තෝරාගෙන තියෙන්නේ. ඒ වගේම ඉතා බාල වියේදී ප්‍රසන්න විතානගේ වැනි දැවැන්ත අධ්‍යක්ෂවරයෙක්ගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ලැබීමත් ඒ හරහා තව නිර්මාණවලට ඇරයුම් ලැබීමත් ගැන මම සතුටු වෙනවා. ඒ වගේම‘ගාඩි’නිසා ලබන ප්‍රතිචාර හමුවේ මම අද කලාවට සම්බන්ධ වීම ගැන තියෙන්නේ අතිශය තෘප්තියක්.

පෞද්ගලික තොරතුරු ටිකක් ඔබ ගැන කිව්වොත්?
අම්මා, තාත්තා, නංගි, මල්ලි සහ සැමියා තමයි මගේ පවුලේ ඉන්නෙ. ඒ වගේම මම කලාව තෝරා ගත්තම ඒ සඳහා පවුලේ හැමෝම මට ලොකු සහයෝගයක් දෙනවා.

ජීවිතේ තුළ ආදරේට තියෙන්නේ මොන වගේ ඉඩක්ද?
ජීවිතේ ආදරේට තියෙන්නේ ලොකු ඉඩක්. මම ආදරේට ආදරේ කෙනෙක්. ඒ නිසා මම කැමැත්තෙන් මගෙ සැමියාව තෝරා ගත්තෙ. ඒ ආදරේ තුළ ජීවත් වෙන්න තමයි මගෙ බලාපොරොත්තුව.

සැමියා ගැනත් කියමුද?

මගේ සැමියා ගුවන් නියමුවෙක්. අපි දෙන්නට දෙන්නා අපේ රැකියාවන් ගැන හොඳ අවබෝධයකින් ඉන්නෙ. ඒ වගේම මගෙ කලා කටයුතුවලට ඔහු මට උපරිම සහයෝගය ලබා දෙනවා.

කලා ක්ෂේත්‍රයේදී ඇතැම් විට කටකතා ගොසිප් නිර්මාණය වෙනවා…

ඒ දේවල් අපිට නවත්තන්න බැහැ. ඒත් ඒ දේවල් මට අදාළ නැත්නම් මම කොහෙත්ම බාරගන්නෙ නැහැ. මොකද මම මට අවංකයි. අනිත් අතට කටකතා ගොසිප් වගේ දේවල් ඕනෑම ක්ෂේත්‍රයක අඩුවැඩි වශයෙන් තියෙනවා.

අනාගත බලාපොරොත්තු?

කලාක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න තමයි මගේ කැමැත්ත. ඒ සඳහා ලැබෙන කිසියම් අවස්ථාවක් වගකීමෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන් ප්‍රේක්ෂකයන්ට කියන්න යමක් ඇති..
ආදරණීය ප්‍රේක්ෂකයන්ට ආදරෙන් මම ආරාධනා කරන්නෙ ‘ගාඩි’ චිත්‍රපටය නරඹන්න එන්න. ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර අපිට කියන්න. මේ ලැබෙන ප්‍රතිචාර ජීවිතයට ගොඩක් වටිනවා.

උපුටා ගැනීම – අරුණ