අලුත් පොතෙන් මහ ගෙදරට ගිනි තිබ්බ හැරී

මේ වන විට ලෝකයේ වඩාත් කතාබහට ලක් වෙමින් පවතින සිදු වීම වන්නේ රජ පවුලේ බාලයා වන හැරී කුමරු විසින් ලියා පළකරන ලද කෘතිය පිළිබඳවය. එය ‘Spare’ ලෙසින් නම් කර ඇති අතර, එය වෙළෙඳපොළට නිකුත් වීම සිදු වූයේ පසුගිය 10 වැනිදාය.

එම කෘතියේ ලියා පළකරන ලද නොයෙකුත් සිදු වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය විසින් විශාල ප්‍රචාරයක් ලබා දී තිබෙනු දක්නට ලැබුණි. ඒ අතර තවත් සිදු වීම් මහත් ආන්දෝලනයකට ලක්ව තිබුණි. මේ අතුරින් ‘Spare’ කෘතිය පළ වීමටත් පෙර ‘Guardian’ පුවත්පත ප්‍රකාශයට පත්කර තිබුණේ එය ප්‍රසිද්ධ වෙළෙඳපොළට නිකුත්වීමටත් පෙර තමා වෙත ලැබුණු බවයි.

එහිදී රාජකීය පවුලේ සොහොයුරන් දෙදෙනා අතර සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් ඔවුන් විස්තර කර තිබුණි.

රාජකීය ගැටුම

හෙන්රි චාල්ස් ඇල්බර්ට් ඩේවිඩ් එසේත් නැති නම් ලෝකයම හඳුනන සසෙක්ස්හි ආදිපාදවරයා වන හැරී කුමරු, විලියම් කුමරු සමඟ ආරවුලක් ඇති වූයේ මේගන් සම්බන්ධයෙනි. තම සොහොයුරා සමඟ ගැටුමක් ඇතිවූ ආකාරය පිළිබඳව ඔහු සඳහන් කරන්නේ අතීතයේ දිනක විලියම් කුමරු තමා සමඟ බහින්බස් වීමක් ඇති වීමෙන් පසු එය වඩාත් උග්‍ර අතට පත් වීමෙන් තමාට ඔහු පහරදුන් බවයි. එය Guardian හි සඳහන් කර තිබුණේ මේ ආකාරයටය.

“ඔහු මා හැඳ සිටි කොලරයෙන් අල්ලා බිම වැටෙන්නට පහර දුන්නා. මගේ බෙල්ලේ පලඳනාව ඉරා දැම්මා. මම වැටුණේ බල්ලන්ට කෑම දමන පිඟන් උඩට. පිඟන්වල කෑලිවලින් මට තුවාල වුණා.”

“මොකක්ද වුණේ කියලා මට තේරුම් ගියේ නෑ. ඊට පස්සේ එයා කිවුවා ගෙදරින් එළියට බහින්න කියලා. ඒත් එයා ආපිට ඇවිත් මගෙන් සමාව අයැදලා එම සිදුවීම් මේගන්ට කියන්න එපා කියලා කිවුවා.”

“මම ඇහුවා මට ගහපු එකද කියලා. ඔහු ඒ වෙලාවෙ මට කිවුවේ මම ඔයාට ගැහුවේ නෑ හැරල්ඩ්” කියලා, යනුවෙන් තම සොහොයුරා සම්බන්ධයෙන් තම කෘතියේ දක්වා තිබුණි.

එම ප්‍රකාශයත් සමඟින් බ්‍රිතාන්‍ය වැසියන් පමණක් නොව ලෝකයේ බොහෝ ජනමාධ්‍ය කතාකිරීමට පටන්ගත්තේ රජ පවුලේ සියලු දෙනාම පාහේ තම ගෞරවය වෙනුවෙන් සඟවාගෙන සිටින රහස් එකින් එක හෙළි වීමේ ආරම්භයයි. තවත් ලෙසකින් සඳහන් කරන්නේ නම් ඩයනා කුමරිය ද රජ පවුලේ පවතින රහස් රැකීම පිළිබඳව සෑහීමකට පත් නොවූ අතර, ඇය සෑමවිටම සිටියේ සත්‍ය හෙළිකිරීමේ චේතනාවෙනි.

ඇය ජීවතුන් අතර සිටියේ නම් හැරී කුමරු ‘Spare’ මඟින් තම මතක සටහන් ඉදිරිපත් කිරීමට ප්‍රථමව මීට දශක කිහිපයකට ඉහතදී රජ පවුල විසින් තම ආත්මාභිමානය වෙනුවෙන් සඟවාගෙන සිටින කරුණු ඇය හෙළි කිරීමට ද තිබුණි.

හැරී විසින් තම සොහොයුරා පිළිබඳව තවත් කරුණු ගණනාවක් ඉදිරිපත් කර තිබූ බව පවසන Guardian පුවත්පත. හැරීගේ බිරිඳ මේගන් ඉතා අවිනීත තැනැත්තියක් බවත් විලියම් පැවසූ බවයි. මෙම ආරවුල උත්සන්න වීමත් සමඟ විලියම් කුමරු මේගන් පිළිබඳව පුවත්පත්වල පළ කෙරෙන විස්තර ගිරවකු මෙන් කියවන්නට පටන්ගත් බව සඳහන් කරන හැරී මේ සියල්ල සිදු වූයේ 2019 වසරේදී තමා ජීවත්වන ලන්ඩන් නි‍ෙවසේදී බව සඳහන් කරයි.

කෙසේ වෙතත් විලියම් කුමරු හා හැරී කුමරු අතර සීතල යුද්ධයක් පවතින බව අනාවරණය වන්නේ පිලිප් කුමරුගේ අවමඟුල අවස්ථාවේදී වූ සිදු වීමක් පිළිබඳව ‘Spare’ හි හැරී කුමරු කළ අනාවරණයකිනි. ඔහු එහි සඳහන් කර ඇත්තේ අමෙරිකාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණි අවස්ථාවේදී ද තමා සමඟ තම සොහොයුරා ගැටුමකට මුල පිරූ බවත් එම අවස්ථාවේදී තම පියා ගැටුම් ඇති නොකරගන්නා ලෙස පවසමින් ඒ සඳහා මැදිහත් වූ බවත්ය.

රජ පවුල තම අභිමානය වෙනුවෙන් පෙනී සිටියේ සියලු තැන්හි ඔවුන්ගේ සද්ගුණවත් භාවය පෙන්නුම් කරමිනි. එහෙත් ඇෆ්ගනිස්ථාන යුද මෙහෙයුම් කටයුතුවලදී තමා විසින් තලේබාන් සටන්කරුවන් 25 දෙනකු ඝාතනය කර ඇති බව හැරී කුමරු විසින් ලෝකයට ප්‍රකාශ කරනු ලැබුවේ තම කෘතිය මඟිනි.

ඒ සමඟම මේ සම්බන්ධයෙන් ලෝකය පුරා වැඩි වශයෙන් අවධානය යොමු විය. අ‍ෙමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රාජ්‍යයන්, එකී යුද්ධය ආරම්භ වීමත් සමඟ ඇෆ්ගනිස්ථානයට ඇඟිල්ල දිගුකරනු ලැබුවේ තලේබාන් නායකයාට ඔවුන් විසින් රැකවරණය ලබා දෙන්නේය යන කාරණාව මතයි.

කෙසේ වෙතත් තමා විසින් තලේබාන් සාමාජිකයනට වෙඩි තැබීම පිළිබඳව තවත් කරුණු ඉදිරිපත් කර ඇති හැරී කුමරු ඔහුට තලේබාන් සටන්කාමීන් පෙනුනේ චෙස් ක්‍රීඩාවේදී කපා දැමිය යුතු චෙස් ඉත්තන් ලෙසින් බවයි. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ යුද නිලධාරීන් තම අදහස් දක්වා තිබූ අතර, ඒ පිළිබඳව ඔවුන්ගේ මතය වූයේ එය ඉතා දැඩි අදහසක් බවයි.

BBC ප්‍රවෘත්ති සේවය තම පුවත් නිවේදනයන්හි සඳහන් කරන්නේ කෙන්සිංටන් මාලිගාව සහ බකිංහැම් මාලිගාව හැරීගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයන් පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටි බවයි.

කෙසේ වෙතත් ප්‍රවෘත්ති සේවය තවදුරටත් අදහස් කරන්නේ ඕනෑම මතභේදාත්මක ප්‍රකාශයකට ප්‍රතිචාරයක් නොදැක්වූ විට එය වේගයෙන් අතුරුදන් වනවා යැයි යන උපාය මාර්ගය මත මේ පිළිබඳව අදහස් දැක්වීමට වේල්ස්හි විලියම් කුමරු සහ චාල්ස් රජුගේ මාලිගාවෙන් ඉදිරිපත්ව නොමැති බවයි.

මේ අතර හැරී කුමරු සඳහන් කරන්නේ බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අභාවය රජ පවුලේ අය විසින් ඔහුට නොදැන්වූ බවත්, එය තමා දැනගත්තේ BBC සේවය ඔස්සේ බවත්ය. බ්‍රිතාන්‍ය රාජකීය පවුලට එරෙහිව එල්ල කරන මැසිවිලි චෝදනාවන්ට අමතරව හැරී කුමරු තම කෘතිය තුළ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තමා සම්බන්ධයෙන් වූ පෞද්ගලික සිදුවීම් ද හෙළිකර තිබිණි.

එහි සඳහන්ව ඇත්තේ ඔහු තමාගේ ළාබාල කාලයේදී කොකේන් මත්ද්‍රව්‍යය ගැනීමට පෙලඹ සිටි බවයි. එමෙන්ම ඩයනා කුමරිය මියයෑමෙන් පසු ආධ්‍යාත්මික ශක්තිය සහිත අයකු සමඟ කතාබහ කළ ආකාරයක් දක්වා තිබිණි.

හැරීගේ Spare

තම අතීත මතක පිළිබඳව සඳහන්ව ඇති හැරී කුමරුගේ කෘතියේ ප්‍රකාශකයින් වන Penguin Random House සඳහන් කරන්නේ ඝනකම් ආවරණයෙන් යුත් පොත් මිලියන 2.5ක් මේ වන විට මුද්‍රණය කර ඇති බවයි. එම මිලියන 2.5ක පොත් ඔවුන් මුද්‍රණය කර ඇත්තේ උතුරු අ‍ෙමරිකාවට පමණි.

පවුම් 28ක සිල්ලර මිලක් නියම කර ඇති හැරීගෙ ‘Spare’ කෘතිය Waterstones සහ WH Smith යන පොත් වෙළෙඳසල් එය අලෙවි කරනු ලබන්නේ නියමිත මිලෙන් අඩක් වූ මිලකට බව විදෙස් මාධ්‍යයන්හි දැක්වේ. කෙසේ වෙතත් ප්‍රකාශකයන් වන Penguin Random Honse කියාසිටින්නේ මීට පෙර වැඩි වශයෙන් අලෙවි වූ බැරැක් ඔබාමා සහ මිෂෙල් ඔබාමා ප්‍රකාශයට පත් කළ ‘Becoming’ මිලියන 1.4ක් අලෙවි වීමට සතියක් ගියමුත් හැරීගේ “Spare” පළමු දිනයේදීම මිලියන 1.4ක් ඉක්මවා ගිය බවයි.

මේ වන විට එහි පිටපත් 400,000කට වඩා අලෙවි වී ඇති බව Penguin ප්‍රකාශකයන් සඳහන් කරයි. කෘතිය ජනවාරි 10 වැනිදා ප්‍රකාශයට පත් වීමට නියමිතව තිබුණද අපේක්ෂිත දිනට, දින පහකට ප්‍රථම එය ස්පාඤ්ඤයේ පරිවර්තනයක් ලෙස අලෙවියට තබා තිබිණි.

කෙසේ වෙතත් හැරී කුමරු විසින් බ්‍රිතාන්‍ය රාජකීය පවුල සඟවාගෙන සිටින බොහෝ දෑ දෙසට ජනතාවගේ අවධානය යොමු කිරීමට සමත්ව සිටී. රාජකීය පවුලේ බාලයා බෝම්බය පුපුරවා අවසන්ය.

දැන් ඉතිරිව ඇත්තේ රාජකීයයන්ට, පිලිස්සුණු තුවාල සඳහා ඉක්මනින් බෙහෙත් ගල්වා ගැනීමය. එහෙත් සිතනා තරම් එය පහසු වන්නේ නැත. මන්ද තවත් ආයුධ සහ පතරොම් කොපමණ ප්‍රමාණයක් තමා සන්තකව තිබෙනවාද දන්නේ හැරී පමණක් නිසයි.

මේ ආරම්භයක් පමණි. එහෙත් මෙය යම් ලෙසකින් අවසානයක්ද විය හැකිය. මන්ද ඩයනා කුමරියට අවසන් ගමන් යාමට සිදු වූයේද රජ පවුලේ ගාම්භීරත්වය ආරක්ෂා කිරීමට නොගොස් සත්‍යය හෙළිකිරීමට යෑම නිසාය.

රජිත බස්නායක
සටහන උපුටා ගැනීම දිනමිණ පුවත්පතෙනි