
මේ වනවිට ඩොලරයේ බර සමස්ත ලංකාවටම බරපතළ රිදුමක් වී තිබේ. එකී රිදුම පිරිමදිමින් ජීවන අරගලයට සහන සෙවීම පිණිස මහජනතාව තවමත් මහපාරේ පෝලිම්වලය. ඩොලරයේ බර මෙන්ම අසාර්ථක රාජ්‍ය යාන්ත්‍රණයේ බර දරා ගැනීමට නොහැකි ව මිනිසුන් අදටත් විරෝධතාවලය. ජන ජීවිත පවත්වා ගැනීමෙහිලා උග්‍ර බලපෑමක් වී තිබෙන ආර්ථික අවපාතය දැන් සත්වෝද්‍යානවල කූඩූ වී සිටින සතුන් දක්වාම දිවයමින් තිබෙන්නේය. කැපකරු මාපිය ක්‍රමය පිළිබඳ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ ඒ අනුවය.
දිවංගත ජනාධිපති ආර් ප්‍රේමදාස විසින් බිහි කළා වූ එම සංකල්පයේ අලුත් වටයක අවශ්‍යතාවය මතු වී ඇත්තේ අප හීනෙකින්වත් නොසිතූ කොට්ඨාසයකටය. එකල හව්හරණක් නොමැති දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ කැපකරු මාපිය ක්‍රමය අද වනවිට මෙරට සත්වෝද්‍යානවල සිටින සතුන් රැක ගැනීම උදෙසා මාතෘකාවක් බවට පත්ව ඇත. රටේ පවතින අර්බුදකාරී ආර්ථිකය මත දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යානවල සිටින සතුන්ට ආහාර සැපයීමට මුල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම අසීරූ වී ඇතැයි පසුගියදා මාධ්‍ය හමුවේ අනාවරණය විය. මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන කරුණු සැලකිල්ලට ගනිමින් සත්තු වත්තේ සිටින සතුන්ට කැපකරු මාපිය ක්‍රමයක් හඳුන්වා දීම ගැන සොයා බලන්නැයි විෂයභාර ඇමතිවරයා අදාළ නිලධාරීන්ට එහිදී උපදෙස් දී තිබුණි.
මීට කාලයකට ඉහතදී නම් දෙහිවල සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ සතුන්ට ආහාර ලබා දීමට පුරුදු වී සිටියහ. එහෙත් සතුන් සඳහා කෑම ලබා දීමට පිටස්තර නරඹන්නන්ට තහනම් කර තිබුණේ මීට වසර කිහිපයකට පෙරදීය. ඒ සතුන්ගේ ශරීරවලට විෂබීජ ඇතුලු වීමේ ප්‍රවණතාවය නතර කිරීමටය. වත්මනෙහි සතුන්ට කෑම දෙන්නට තියා විදෙස් සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ ද අවාරයටය. ස්වදේශීකයින්ද සිය දුවාදරුවන් සමඟ සත්වෝද්‍යාන නැරඹීමට යාමට තරම් මුදල් හදල් අතින් ශක්තිමත් නැත. ඒ විනෝදාස්වාදය පසෙකලා ජීවන අරගලය සමඟ සටන් වැදීමට ඔවුනට සිදුව ඇති නිසාය. එහෙත් සතුන්ට සංවේදී වූත්, වත්කමෙන් ශක්තිමත් වූත්, මිනිසුන්ට ඒ සඳහා අවස්ථාවක් තිබේ. දානමය කුසල කර්මයක් හෝ සිතා පුළුපුළුවන් අයුරින් අප කොයිකාටත් ඊට සම්මාදම් වීමට හැකි නම් සතුන්ට එය යහපතකි.
කෙසේ වෙතත් විෂයභාර අමාත්‍යංශය හා දෙපාර්තමේන්තු මට්ටමේ අදහස් වන්නේ මවා පෙන්වා දෙන තරමේ ආහාර හිඟයක් සතුන්ට නොමැති බවයි. තරුණ සත්වවේදින්ගේ සංගමයෙන් අප කළ විමසීමකදී ඔවුන්ගේ අදහස වූයේ ද කිසිදු වේලක් අඩු නොකර නියම ප්‍රමිතීන්ට අනුව සතුන්ට ආහාර ලබා දීම මෙතෙක් සිදුවන බවය. සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නන්ගේ අඩුවැඩි වීම මත සතුන්ට කෑම බීම ලබා දෙන්නේ නැති බවද ඔවුහු පෙන්වා දෙති. කෙසේ නමුත් ඔවුන් හෙළිදරව් කළ වෙනත් කරුණක් විය. ඒ නම් සතුන්ට කෑම සපයා දීමට නොහැකි වී ඇති බවට අසත්‍ය ප්‍රචාර සිදු කරමින් කාන්තාවන් කිහිප දෙනෙක් මුදල් ඉපැයීමට වෙර දරමින් සිටින බවයි. ඒ සඳහා මුහුණු පොතේ සිටින පේජ් ඇඩ්මින්වරුන් ද රිලවුන්ට ඉනිමං බඳින ආකාරයේ මුග්ධ පෝස්ටු නිර්මාණය කරමින් සිටියි. කූඩූ කර සිටින සතුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් මේ මොහොතේ සිදු කරන එවැනි ක්‍රියාකාරකම් ගැන සතුන් පිළිබඳ සංවේදී මිනිසුන්ට නම් අනුමත කළ නොහැක. ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ විමර්ශන ඇස කඩිනමින් යොමු විය යුතුය.
වංචාව හා සොරකම ඉහවහා ගිය මේ සමාජයේ ඔවැනි දේවල් දැන් සාමාන්‍යයය. මෙසමයෙහි ඒවා වඩාත් සූක්ෂ්ම අයුරින් සිදු වේ. තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය පෙන්වා දුන් පරිදි කාන්තාවන් කිහිප දෙනෙකු එලෙස කූට ව්‍යාපාරයක නියැලෙන්නේ නම් සතුන්ට ලැදි මිනිසුන්ගේ සැබෑ උපකාරයන් පවා පසුගාමී වනවා හැරෙන්නට ඉදිරිගාමී වන්නේ නැත.

රටේ පැවති ආර්ථික, සමාජයීය හා දේශපාලනික අර්බුදයන් සැබෑ ලෙසම ජනතාවට හෝ පොදුවේ සමාජයට නිරාවරණය නොකිරීමේ ප්‍රතිවිපාක අපි අත් විඳිමින් සිටින්නෙමු. තතු දත් ආරංචි අනුව නම් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කැපකරු මාපිය ක්‍රමය නුදුරේදීම හඳුන්වා දීමට නියමිතය. සැබැවින්ම සතුන් රැක බලා ගැනීමෙහිලා අර්බුදයක් නිර්මාණය වී නොමැති නම් කැපකරු මාපිය ක්‍රමයක් ස්ථාපිත කරන්නට යාම ගැන ඇත්තේ ප්රහේලිකාවකි. මේ මොහොතේ කළ යුත්තේ එලෙස ප්‍රහේලිකා ගොඩ නැගීම නොව සැබෑ අර්බුදයක් තිබේ නම් එය නොවලහා රටට කීමය.
මාස කිහිපයකින් පසුව හෝ මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමේ ගැටලුව මත ආහාර හිඟයක් මතුවෙතැයි කියා පුරෝකථනය කිරීමට යාම මෝඩසහගත විය හැකිය. එහෙත් මෙරටට ප්‍රමාණවත් ලෙස ඩොලර් ඉපැයූ සමස්ත සත්වොද්‍යාන පද්ධතියේ අනාගතය පිළිබඳව දෙගිඩියාවක් නොතිබිය යුතුය. එහි කඩා වැටීම් නවතා උන්නතිය උදෙසා දෙපාර්තමේන්තු මට්ටමින් ගනු ලබන තීන්දු තීරණ සතුන්ගේ සංවේදීතාවය ස්පර්ශය කළ යුතුව ඇත. එසේම උන්ගේ අනාගත පැවැත්මට හේතු විය යුතුය.
දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු සෙසු සත්වෝද්‍යානවල සිටින සතුන්ට ස්වභාවික පරිසරය හෝ වනාන්තර දඩබිම නුපුරුදුය. ඒ මක්නිසාද උන් බහුතරයක් මෙලොවට ජනිත වූයේ සත්වෝද්‍යාන පරිශ්‍රයන් තුළය. උන් දීර්ඝ කාලීනව ඔබමොබ කළේ සීමිත ඉඩකඩකය. ළඟට ලැබෙන ආහාර ටික බුදිනවා හැරෙන්නට ආහාර දාමය වෙනුවෙන් හඹා යන්නට උන්ට හුරු නැත. එනිසා උන් රැක බලා ගත යුත්තේ උන්ට හුරුපුරුදු වපසරියේමය.
වන සතුන් සංවේදීව රැක බලා ගැනීමේදී මනුසතාගෙන් සිදු විය හැකි අඩුපාඩු හෝ හානි අතිශය අවම විය යුතුය. මීට වසර ගණනාවකට පෙර දෙහිවල සත්වෝද්‍යානයේ විසූ දුර්ලභ වානර විශේෂයක් වන ගෝරිල්ලා රැක බලා ගැනීමේ දුර්වලතා හා නොසැලකිලිමත්කම් නිසා අපට අහිමි වූ සැටි මතකය. එනිසා අප දන්නා පරිදි එම විශේෂයේ ගෝරිල්ලකු මෙරට සත්වෝද්‍යානයකට ආනයනය කර ගැනීමට මේ වනතෙක් හැකි වී නැත. එය සත්වෝද්‍යාන පරිපාලනය ලැබූ අමිහිරි පරාජයකි. එවන් අමිහිරි අද්දැකීම් ඇති හෙයින් සතුන්ගේ දෛනික ආහාර සහ සෙසු අවශ්‍යතා පිළිබඳව නිසි සැලසුමකින් වැඩ කිරීම නුවණට හුරුය. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණීය එක් අන්තයක් වන සත්වෝද්‍යාන පද්ධතියට ද එය සුබදායී වනු ඇත.
පැහැදුල් විජේසේකර