අමෙරිකානු ඩ්‍රෝන යානයක් රුසියාවේ ජෙට් යානයක ගැටේ

කළු මුහුදට ඉහළ අහසේදී අමෙරිකානු ඩ්‍රෝන යානයක් රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් සමඟ ගැටී අනතුරක් සිදුව තිබේ. මේ අනතුර සම්බන්ධව අමෙරිකානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරනුයේ මඟීන් රහිත එම ඩ්‍රෝන යානය අනතුරින් පසු කළු මුහුදට කඩා වැටීමට සැලැස්වූ බවය.

එකිනෙක ඉතා සමීපයෙන් ගමන් කරමින් සිටියදී මෙම යානා දෙක ගැටුණු බව රුසියාව පවසන අතර ඩ්‍රෝන යානාව ජාත්‍යන්තර ගුවන් කලාපයේ දෛනික පියාසැරියක නිරත වෙමින් සිටියදී රුසියානු ප්‍රහාරක යානා දෙකක් ඊට බාධා එල්ල කළ බව අමෙරිකාව පවසයි. රුසියාවේ SU 27 ප්‍රහාරක යානා වගකීම් විරහිතව කටයුතු කරමින්, අවස්ථා කිහිපයකදීම ඩ්‍රෝන යානාව වෙත ඉන්ධන මුදාහැර ඇති බවත් අමෙරිකාව පවසයි.

එහෙත් රුසියාව වැඩිදුරටත් කියා සිටින්නේ අමෙරිකානු ඩ්‍රෝන යානාව සංඥා මඟ හැරීමේ උපක්‍රම භාවිත කරමින් සිටි බවය. තම යානා හිතාමතාම ඩ්‍රෝන යානයේ ගැටුණු බවට එල්ල වන චෝදනා ද ඔවුන් ප්‍රතික්ෂේප කරයි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අමෙරිකාවේ රුසියානු තානාපතිවරයා කැඳවීමට අමෙරිකානු රජය මේ වන විට කටයුතු යොදා තිිබේ.