අද ලෝක කාන්තා දිනයයි

කාන්තාව අභිමානයෙන් සමරමු

අන්තර්ජාතික කාන්තා දිනය අද (08)ට යෙදී තිබේ. මෙවර කාන්තා දිනයේ තේමාව වනුයේ ‘ඇය දැයේ අභිමානයයි’ යන්නයි.

මෙවර කාන්තා දිනයේ ජාතික උත්සවය අද (8 වැනිදා) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ.
මෙහිදී කාන්තාවන්ගේ අභිමානය හා ප්‍රෞඪත්වය මෙන්ම ජාතික හා අන්තර්ජාතික වශයෙන් ඔවුන් රටට අත්කර දුන් කීර්තිය වෙනුවෙන් සුවිශේෂී කාන්තාවන් සිව්දෙනකු ඇගයීමට ලක් කිරීමට නියමිතය. ආචාර්ය සුජාතා අත්තනායක, කලාසූරී ශ්‍රියානි අමරසේන, ගත්කතුවර අනුලා ද සිල්වා සහ රශ්මි නිමේෂා ගුණවර්ධන යන අය මෙසේ ඇගයීමට තෝරා ගෙන තිබීම විශේෂත්වයකි.

එමෙන්ම හොඳම ව්‍යාවසායික කාන්තාවන් විසිපස් දෙනෙක් දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගෙන ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙම උත්සවයේදී සිදු කෙරේ.

ශ්‍රී ලංකාව සඳහාම සකස් කරන ලද ස්ත්‍රී – පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය හා කාන්තාව සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට නියමිත බව කාන්තා, ළමා හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.