
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයකට ඇතුළුවීම සහ එම ස්ථානවල සිට උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
අද උදෑසන 10 සිට පස්වරු 4 දක්වා කොටුව දුම්රිය ස්ථානයේ සිට සෙරමික් හන්දිය දක්වාත්, ලෝටස් මාර්ගය, යෝර්ක් වීදිය, බැංකු මාවත, බාරෝන් ජයතිලක මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට එම මාර්ගයේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශය සහ ගාලු මුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීම තහනම් කරමින් එම නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ.
ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ , ලංකා ප්‍රගති ගුරු සංගමයේ ලේකම් මයුර සේනානායක, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි සහ එම සංගම්වල නියෝජිතයින් සදහා එම නියෝගය නිකුත් කර තිබේ. එම ආඥාව කඩකිරීම දණ්ඩ නීති සංග්‍රහ පණතේ 185 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බව ද අධිකරණ නියෝගයේ සඳහන්.
කොටුව පොලිසිය විසින් කරන ලද දැනුම් දීමකට අනුව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත.