අද ආරම්භ වෙන fifa ලෝක කුසලානයට ප්‍රථම වරට තරග තීරක වරියන් තිදෙනෙක්.

අද ආරම්භ වෙන fifa ලෝක කුසලානයට ප්‍රථම වරට තරග තීරක වරියන් තිදෙනෙක්.

FIFA ලෝක කුසලානය 2022 අද (නොවැ. 20) කටාර්හිදී ආරම්භ වේ.

මැදපෙරදිග රටක පැවැත්වෙන පළමු පාපන්දු ලෝක කුසලානය මෙය වේ…

මෙවර ලෝක කුසලානය සඳහා රවටල් 32ක් සහභාගි වන අතර එහි සමාරම්භක තරගය කටාරය සහ ඉක්වදෝරය අතර අල් බයිට් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30ට ඇරඹේ.

කටාර් රාජ්‍යය වඩාත් ම කතා බහට ලක් වූ සහ මතභේදයට තුඩු දුන් ලෝක කුසලාන තරගාවලියක සත්කාරක රට ලෙස ඉතිහාසයට එක්වනු ඇත…

දකුණු කොරියාව, ජපානය, ඔස්ට්‍රේලියාව සහ අමෙරිකා එක්සත් ජනපදයේ ලංසු අභිබවා කාටාර්, තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීමට සමත් විය.

මෙම ක්‍රියාවලිය තුළ පුළුල්ව එරටට දූෂණ චෝදනා එල්ල වූ අතර කටාර් රාජ්‍යය එය සැමවිට ම ප්‍රතික්ෂේප කළේ ය.

2021 පෙබරවාරි මාසයේදී ගාඩියන් පුවත්පත වාර්තා කර තිබුණේ, ලෝක කුසලාන ලංසුව දිනාගත් දා සිට කටාර්හිදී ඊට සම්බන්ධ වී සිටි ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල සංක්‍රමණික කම්කරුවන් 6,500ක් මිය ගොස් ඇති බව ය.

එම සංඛ්‍යාව කටාර්හි පිහිටි එම රටවල තානාපති කාර්යාල විසින් සපයන ලද සංඛ්‍යා ලේඛන මත පදනම් නිකුත් කරන ලද ඒවා බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත්, කටාර් රජය ප්‍රකාශ කළේ එම සංඛ්‍යාව නොමග යවන සුළු බව ත් වාර්තා වී ඇති සියලු ම මරණ ලෝක කුසලානයට අදාළ ව්‍යාපෘතිවල සේවය කරන පුද්ගලයින් නොවන බව ත් ය.

2014 සහ 2020 අතර ලෝක කුසලාන ක්‍රීඩාංගණ ඉදිකිරීම් ස්ථානවල කම්කරු මරණ 37 ක් සිදුව ඇති බව එහි අනතුරු වාර්තා පෙන්වා දෙන අතර ඉන් තුනක් පමණක් “වැඩ සම්බන්ධ” ඒවා බව එරට රජය ප්‍රකාශ කර තිබේ.

මේ අතර, මෙවර ලෝක කුසලානය සඳහා ප්‍රථම වරට තරග තීරකවරියන් තිදෙනෙකු සහභාගි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව, එය ඉතිහාසගත වන බව අදාළ වාර්තා පෙන්වා දී තිබේ.

FIFA විසින් තෝරා ගන්නා ලද විනිසුරුවන් 36 දෙනාගේ ලැයිස්තුවට ප්‍රංශයේ ස්ටෙෆනි ෆ්‍රැපර්ට්, රුවන්ඩාවේ සලිමා මුකන්සංගා සහ ජපානයේ යොෂිමි යමෂිටා යන තරග තීරකවරියන් ඇතුළත් වන අතර තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු මෙවර ලෝක කුසලානයේ සහය විනිසුරුවරුන් ලෙසින් කටයුතු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.