අදත් රට පුරා වැඩවර්ජන

අද (14) දිනය තුළ ද දිවයිනේ රෝහල් කිහිපයකම වැඩ වර්ජනය ක්‍රියාත්මක වේ. වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති පවසන්නේ සාධාරණ පිළිතුරක් ලැබෙන තෙක් දිගටම වර්ජනයේ නිරත වන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, ජනාධිපති ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග ඊයේ (13) රාත්‍රී පැවැත් වූ සාකච්ඡාවල ප්‍රගතියක් පැවතිය ද වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමට තරම් එය ප්‍රමාණවත් නොවන බවය. එම නිසා මධ්‍යම, සබරගමුව, උතුර, උතුරු මැද සහ ඌව පළාත්වල රෝහල්වල අද දිනයත් තුළ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.

අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා සඳහන් කළේ 15 වනදා සිට වර්ජනයක නිරත වන බවය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා ද කියා සිටියේ අදාළ සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවසන් තීරණයක් නොලැබුණු බැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බවය.

බැංකු සේවකයින් අද දහවල් ලේක්හවුස් වටරවුමේ සහ ප්‍රධාන නගරවල විරෝධතාවක නිරත වන බව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා ද ප්‍රකාශ කළේය.