අති උතුම් සිරිපාද කරුණාවෙ වාරේ කොටින්ගේ ජීවිතේ වෙයි අසුබ කාලේ

‘පැන්තෙරා පාඩුස් කොටියා’ (Panthera Pardus Kotiya)

ස්වභාව ධර්මයේ අපූර්වතම නිමැවුමක් වූ ශ්‍රීපාදස්ථානය හෙවත් සමනොළ කන්ද දෙස් විදෙස් බේදයකින් තොරව ගෞරවාදරයට පාත්‍රවන උතුම් ස්ථානයකි. සිරිපා සමය ආරම්භ වන්නේ ආගමික වත්පිළිවෙත් රැසකින් අනතුරුවය. බැතිමතුන් ද සිරිපා කරුණා කරන්නේ වත්පිළිවෙත් අනුගමනය කරමින්ය. එය පුරාතනයේ සිටම සිදු කරගෙන ආ දෙයකි. සිත, කය, වචනය යන තුන්දොර සංවර කරගනිමින් සිරිපා කරුණා කළ අතීත ක්‍රමය දැන් කෙමෙන් කෙමෙන් පිරිහී යන ස්වභාවයක් දකින්නට ඇත. ප්‍රසන්න සිතින් යුතුව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් කෙරෙන් එම පිරිහීම ඉස්මතු නොවුවද සිරිපා කරුණාව විනෝද චාරිකාවක් කරගත් ඇතැමුන්ගේ අශීලාචාර ගතිපැවතුම් මගින් එය මනාව ඔප්පු වෙමින් තිබේ. ලෝක උරුමයක් වන සිරිපාද රක්ෂිතයේ තිබෙන තේජස සහ ස්වභාවික වටිනාකම තඹ දොයිතුවකට මායිම් නොකරන ඇතැමුන්ගේ තුන්දොර අසංවර ක්‍රියාවක් නිසා උද්ගතව ඇති ජෛව හානියක් පිළිබඳ අනාවරණය විය.

අනපේක්ෂිත මරණය

සිරිත් පරිදි සිරිපා සමයේ වාරය ලෙස සැලකෙන්නේ දෙසැම්බර් මස උදුවප් පොහොය දින සිට මැයි මාසයේ වෙසක් පොහොය දිනය දක්වා වූ කාලයයි. බොහෝ බැතිමතුන් සිරිපා කරුණාවේ යෙදෙන්නේ එම කාල සීමාව තුළය. අහඹුවක් ලෙස ඇතැම් පිරිස් අවාරයේද සිරිපාහිම කරුණා කරති. කෙසේ වෙතත් දෙසැම්බර් සිට මැයි මස දක්වා වූ කාල සීමාවේදී මදු වලට හසුවී මිය යන කඳුකර කොටියන්ගේ සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බව වනජීවී ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කර සිටී. ලියුම්කරු පෙර කී පරිදි සිරිපා සමය, විනෝද සමයක් බවට පෙරළා ගත් ඇතැම් කණ්ඩායම් වල නොහොබිනා ඉල්ලීමක් සම්බන්ධයෙන් ප්‍රදේශයේ වනජීවි නිලධාරීහු කලක පටන් අවධානයෙන් සිට ඇත. එම අවධානයේ ප්‍රතිඵල වශයෙන් තහවුරු වූ තොරතුරු වනාහි ඉතාමත් අනුවේදනීයය. ඇතැම් පිරිස් සිරිපා කරුණාවේ යෙදෙන බව අමතක කරමින්, බජව් දමන ස්වරූපයෙන් එහි සංක්‍රමණය වන්නේ දඩමස් බුදීමේ අරමුණින් යැයි වනජීවී නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

මාංශ භක්ෂක ආශාව පෙරටුව පැමිණෙන එම කණ්ඩායම් වල ඉල්ලීම කලක පටන් හඳුනා ගෙන සිටි හැටන්, නල්ලතන්නිය ආදී ප්‍රදේශවල ගම්වාසීන් දඩමස් සැපයීමේ වෙළඳාම ජයටම ක්‍රියාත්මක කරන්නේ මෙකී කාල සීමාවේ දීය. ඉල්ලුමට සැපයුම ලබා
දීමට පෙළඹී සිටින ගම්වාසීහූ මදු ගසන්නේ ඌරෙකු, ඉත්තෑවකු, වැලිමුවෙකු හෝ හාවෙකු එළා ගැනීමේ අටියෙනි. එලෙස අටවනු ලබන මදුවලට ඌරන්, ඉත්තෑවුන් වැනි සතුන් හසුවන අතරේ බොහෝ විට කඳුකර කොටින්ද හසුවන්නේ ඉතාමත් අභාග්‍ය සම්පන්න ලෙසය. කොටියන් මෙන්ම අනෙකුත් සතුන්ද මරණයට පත් වීම දුක්ඛදායකය. මදුවලට හසුවී කොටි පමණක් මරණයට පත්වීම ‘අනේ අපොයි මහා අපරාධයක්’ යැයි ලඝු කළ නොහැකිය. බුදුදහමට අනුව නම් ඕනෑම ප්‍රාණඝාතයක් සිදු කිරීම අකුසල් රැස් වන පාප කර්මයකි. එය ප්‍රාණඝාත සිදු කරන්නන් නැණ පමණින් කල්පනා කළ යුතුව ඇත.

මෙරට වෙසෙන ‘පැන්තෙරා පාඩුස් කොටියා’ (Panthera Pardus Kotiya) යන උප විශේෂය අතිශය දුර්ලභ මෙන්ම වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ත්ව කොට්ඨාසයකි. එසේම වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 30 වැනි වගන්තියෙන් දැඩි ලෙස ආරක්ෂා කර තිබෙන සත්ත්වයෙකි. කොටියන් මරණයට පත් කිරීම, හානි පමුණුවීම, මළ සිරුරක් හෝ ශරීර කොටස් ළඟ තබා ගැනීම, විකිණීම හෝ ප්‍රදර්ශනය කිරීම, තුවක්කු හා උගුල් ඇටවීම ඇතුළු කාරණා රැසක්ම සංඥාමය වරදවල් ලෙස හඳුන්වා දී තිබේ. මෙරට සිටින සමස්ත කොටියන් ගණන පිළිබඳ නිශ්චිත සංගණනයක් මෙතෙක් සිදු කර නැතිමුත් 700-800ත් අතර කොටි ගහනයක් මෙරට සිටිය හැකි බව වනජීවි පර්යේෂකයෝ අනුමාන කරති. ඒ කාලය හා අවකාශය පදනම් කරගෙන සිදු කළ පර්යේෂණ මගිනි. ලංකාවේ මධ්‍යම කඳුකරය, පහතරට තෙත් කලාපය සහ වියළි කලාපය ආශ්‍රිතව එම සත්ත්වයන්ගේ ව්‍යාප්තිය සිදුව ඇත. වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින මෙම සතුන් 2020 රතු දත්ත පොතට ද ඇතුළත් වී තිබේ. එවන් පසුබිමක මනුසතාගේ නොහොබිනා ක්‍රියාකාරකම් ද උන්ගේ පැවැත්මට එල්ල කරන්නේ දැඩි තර්ජනයකි. මේ පිළිබඳව සමනොළ ස්වභාව රක්ෂිතයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩී.පී සියාසිංහ මහතා අදහස් දැක්වූයේ මෙලෙසින්ය.

වන්දිය ජීවිතය

” අපේ රටේ ඉන්න පැන්තෙරා පාඩුස් කියන කොටි විශේෂය ඉතාමත් දුර්ලභ ගණයේ සත්ව කොට්ඨාසයක්. සාමාන්‍යයෙන් මේ සතුන් හුදෙකලා ජීවන රටාවකට තමයි හුරු වෙලා ඉන්නේ. මේ සතුන්ගේ ආහාර දාමය විශාලයි. ගෙම්බාගේ, කටුස්සාගේ ඉඳලා මුවා ගෝනා දක්වාම ඒ ආහාර දාමය පුළුල් වෙනවා. ඔවුනගේ ආහාර දාමය පුළුල් නිසා ආහාර සොයා යෑමට රක්ෂිත වලින් පිටත ප්‍රදේශයන්ට පවා පැමිණෙනවා. මේ වටපිටාවේ තේ වතු ආශ්‍රිත පරිසරයක් තිබෙන නිසා සැඟවී සිට සතුන් ගොදුරු කර ගැනීමට මොවුන් පෙළඹෙනවා. මේ කාරණයේ දී මිනිසුන්ගේ අනිසි ක්‍රියාකාරකම් වලට භාජනය වීමේ ඉඩකඩ වැඩියි. මේ සතුන්ගෙන් සියයට 75ක්ම මරණයට පත් වෙන්නේ රක්ෂිත වලින් පිටත ප්‍රදේශවලයි. වනජීවි විශ්ලේෂණ හා දත්ත වාර්තා අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය හා අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කඳුකර කොටියන්ගේ මරණ වාර්තා වීම ඉහළ අගයක් ගෙන තියෙනවා. ඊටපස්සේ වැඩිම කොටි මරණ වාර්තා වෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගම්පොළ සහ නාවලපිටිය ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාස වලින්. රක්ෂිත ඇතුළේ අපේ වනජීවී නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය සිදු වන නිසා රක්ෂිතයන් තුළ මදුවලට හසුවී මිය යාමේ සම්භාවිතාවක් නැහැ. මධ්‍යම පළාතේ වතුකරය හෙක්ටයාර 50,000ක් පමණ වනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිතිව තිබෙන්නේ හෙක්ටයාර 4000ක ප්‍රමාණයක් විතරයි. ඒ අනුව අපිට මැදිහත්වීමේ හැකියාව තිබෙන්නේ අවම වශයෙන්.

” සිරිපා වන්දනා සමය ආරම්භ වන දවස්වල අපගේ නිලධාරීන් විශේෂ මෙහෙයුම්වල නිරත වෙනවා. අනීතික අන්දමට සිදු කෙරෙන දඩමස් වෙළඳාම සම්බන්ධයෙන් අපි වැඩි අවධානයක් යොමු කරනවා. අවට ප්‍රදේශවල තිබෙන කඩපිල් සෝදිසි කිරීම නිරන්තරයෙන් සිදු
වෙනවා. ඒ වගේම මේ කොටියන් බහුලවම මදුවලට අහු වෙන්නේ රක්ෂිත වලින් පිටත වතු ආශ්‍රිත ප්‍රදේශවල නිසා වතු සමාගම් වල ප්‍රධානීන්, කාර්යය මණ්ඩල දැනුවත් කර‍න වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මොකද කොටියෙක් මද්දකට හසු වෙල ඉන්නවා නම් අඩුම තරමින් වනජීවි නිලධාරීන් එම ස්ථානයකට එනතෙක් කටයුතු කරන්න ඕන විදිය ගැන අපි දැනුවත් කරනවා. එහෙම නොකළහොත් අපේ රටේ වටිනාම සම්පතක්
වන මේ කොටියා රැක ගැනීම දුෂ්කර කාර්යයක් වෙනවා. ඇත්තටම මේක අලි මිනිස් ගැටුම වගේ නෙමෙයි. අලි මිනිස් ගැටුමේදී මිනිසුන්ටත්, දේපළවලටත් දැඩි ලෙස හානි සිද්ධ වෙනවා. නමුත් මේ ප්‍රශ්නයේ දී ඇත්තටම කොටියන් මැරුණට මිනිස්සු මැරෙන්නේ බොහෝම අඩුවෙන්”

මධ්‍යම පළාත් වනජීවි කලාපයට නුවරඑළිය, මහනුවර, බදුල්ල, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කොටසක් අයත් වේ. ශ්‍රී පාදස්ථානය පිහිටි සමනොළ රක්ෂිතය කෑගල්ල, රත්නපුර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්ට මායිම් වේ. රත්නපුර, කුරුවිට, දැරණියගල, නුවරඑළිය සහ මස්කෙළිය යනාදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සමනොළ රක්ෂිතයට අයත් වන බල ප්‍රදේශයන්ය. නල්ලතන්නිය- හැටන් මාර්ගය, රත්නපුර පලාබද්දල මාර්ගය සහ
කුරුවිට එරත්න මාර්ගය වර්තමානයේ දී සිරිපා කරුණා කරන ප්‍රධාන මාර්ගයන් බවට පත්ව තිබේ. ඊට අමතරව දෙහෙනකන්ද- මූක්කුවත්ත මාර්ගය, දැරණියගල මාලිබොඩ මාර්ගය, ඌව මාර්ගය හෙවත් හපුතලේ විහාරතැන්න මාර්ගය සහ මරේවත්ත හරහා රාජමලේ මාර්ගයෙන් ද සිරිපා කරුණා කළ හැකිය. මෙකී සියලුම මාර්ගයන් වැටී තිබෙන්නේ මිල කළ නොහැකි ජෛව විවිධත්වයකින් යුත් පරිසර පද්ධතියක් මතිනි. ඒ බව අතීතයේ මුතුන් මිත්තන් හොඳින් දැන සිටියද වත්මන් පරපුරට එම අවබෝධය තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තිබෙන්නේ කුකුසකි.

වස්තුවක අවසානය

අතීතයේ සිරිපා හිමේදී කෑමක් පිළියෙළ කර ගැනීමේ දී පවා පිළී වර්ග භාවිතා නොකිරීමට පැරැන්නෝ වගබලා ගත්හ. ඒ තියා අඩුම තරමින් අවමගුලක් වූ නිවසෙක තැනැත්තෙකු තුන්මසක් ගත වනතුරුම සිරිපා කරුණාවේ යෙදුණේ නැත. ඒ අන් කිසිවක්වත් නිසා නොව ‘සුමන සමන් දෙවියන්ගේ අඩවිය’ ලෙසින් ද හැඳිනෙන එකී අඩවියේ පවතින අනුහස් මහිමය නිසාවෙනි. ”දෙයියෝ බුදුන් ගැන විශ්වාසයක් නැති එවුන්ට ඔය හිමේ කරක්
ගහන්න බැහැයි” වැඩිහිටියන් එදා කීවේ කට කහනවාටම නොවේ යැයි පෙන්වා දීමටද ඕනෑ තරම් සාධක තිබේ. එහෙත් ඒවා ගැන මතක් කර දීමට මෙය අවස්ථාවක් නොවේ. එනමුත් විවේචනාත්මක අයුරින් මතක් කළ යුතු කරුණක් තිබේ. සිරිපාද වන්දනාව වාර්ෂික විනෝද චාරිකාවක් බවට පත් කරගත් ඇතැමුන්ගේ නොහොබිනාකම් නිදැල්ලේ වෙසෙන වන සතුන්ගේ ජීවිත වලට තර්ජනයක් නොවිය යුතුය. ඔබත් දඩමස් ගිලමින් විනෝදවීමේ අරමුණින් එහි සංචාරයේ යෙදෙන තැනැත්තෙකු නම් මෙරට වෙසෙන අති දුර්ලභ කඳුකර කොටියෙකුගේ ඉරණම තීන්දු කරන්නෙකු විය හැකිය. එය ආගන්තුකයින්ට දඩමස් සැපයීම පිණිස මර උගුල් අටවන්නන්ට ද අදාළය.

පහන් විජේසේකර
ඡායාරූප – සමනොළ ස්වභාව රක්ෂිතයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩී.පී සියාසිංහ මහතාගෙනි.